හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම - මෙන්න හේතුව
අද (6) රැස් වූ පාර්ලිමේන්තුව අමතමින් අගමැතිනිය හරිනි අමරසූරිය මහත්මිය විසින් ආපදා තත්ත්වය තුළ රජය විසින් රටපුරා පනවනු ලැබූ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමට ගත් පියවර සම්බන්ධව පැහැදිලි කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
"අපි සියලු දෙනා හොඳින් දන්නා කාරණයක් දිට්වා සුළි කුණාටුවෙන් මේ රටට වෙච්ච හානිය. අපි බලාපොරොත්තු නොවූ අන්දමට අපේ රටේ යටිතල පහසුකම් විශේෂයෙන්ම පාරවල් ඒ වගේම පාලම්වලට කොතරම් හානියක් වුණාද කියන එක ගැන අලුතින් නැවත නැවත අවධාරණය කළ යුතු නෑ. අපි සියලු දෙනා දන්නවා පාසල් ගණනාවක් අපිට තියෙනවා නැවත ගොඩනැගීමට, තියෙන ස්ථානවලින් ඉවත් කිරීමට. ඒ වගේම අපේ ඉතිහාසේ අපි දැකපු නැති තරමට නායයෑම් සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොටත් NBRO වාර්තා ලැබිලා තියෙනවා 1,300ක් පමණ නායයෑම් පිළිබඳව. ඒක මීට කලින් කිසිසේත්ම සිද්ධ නොවූ විදිහට අපේ යටිතල පහසුකම් සහ ඒ නායයෑම් අවදානම් වැඩිවෙලා තියෙනවා කියන එක සියලු දෙනා දන්න කාරණයක්. ඉතිං ඒ තත්ත්වයන් තුළ අපිට සිද්ධ වෙලා තියෙනවා මේකට මැදිහත් වෙන්න. මේ මැදිහත් වීම් සඳහා මානව සම්පතත් ඒ වගේම අවශ්‍ය ද්‍රව්‍යමය අවශ්‍යතාවයන් මේ සියල්ලම අපිට ඉක්මනින් සොයාගෙන ඒවා ක්‍රියාත්මක කරන්න, ඒක නිවැරදි කරන්නත් මේ සිද්ධ වෙලා තියෙන හානිය අවම කරන්නත් ගත යුතු පියවර සඳහාත් අපිට විශාල වැඩ කොටසක් පැවරිලා තියෙනවා. මෙම හදිසි නීතිය දික් කිරීමේ අවශ්‍යතාවය පැන නගින්නේ ඔන්න ඔය තත්ත්වය මත පමණයි. මේක තුළින් සිදුවන ප්‍රධාන දේ තමයි අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට හැකිවීමත් ඒ වගේම අත්යවශ සේවා කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමත් තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔය ප්‍රධාන කරුණු දෙක සඳහා තමයි අපි මේ නීතිය පාවිච්චි කරන්නේ සහ ඒ පාවිච්චි කරන්නෙත් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ කළ යුතු ක්‍රියාවන් කාර්යක්ෂමව සහ ඉතාම වේගයෙන් මේ ප්‍රදේශ සහ මේ ජීවිත යථාතත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය මත තමයි අපි මේක තව මාසයක් දීර්ඝ කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ."