විගණකාධිපතිවරයකු නැති හින්දා කෝප්, කෝපා වැඩ සම්පූර්ණයෙන්ම කොට උඩ
විගණකාධිපතිවරයකු පත් නොකිරීම හේතුවෙන් 2025 වසරට අදාළ ප්‍රධාන විගණන වාර්තාව පිළියෙල කිරීම ආරම්භ කිරීම ප්‍රමාද වීමේ අවදානමක් මතුව ඇති බව ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වාර්තාව ලබන මැයි මස 31 වැනිදාට පෙර නිකුත් කළ යුතු වුවද, එම කටයුතු ආරම්භ කිරීමට තවමත් නොහැකි වී ඇත.
මීට අමතරව, රාජ්‍ය ආයතනවලට අදාළ විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ දැනටමත් ප්‍රමාද වී ඇති බව ද වාර්තා වේ. විගණකාධිපතිවරයකු නොමැතිකම හේතුවෙන් මෙම වාර්තා ඉදිරිපත් කිරීම නැවතී ඇති අතර, ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු කමිටුවල කටයුතු මුළුමනින්ම නැවතී තිබේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව, මෙම කමිටු දෙක ක්‍රියාත්මක වීමට විගණකාධිපතිවරයකු අනිවාර්යයෙන්ම සිටිය යුතු බව සඳහන් වේ. විගණකාධිපතිවරයකු නොමැතිකමෙන් ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය පාලන කටයුතු ද අඩාල වී ඇති අතර, ඒ සඳහා ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය පවරා ඇති බව දැනගන්නට තිබේ.
විගණකාධිපතිවරයකු නොමැතිකමෙන් රාජ්‍ය මූල්‍ය පාලනය සහ විමර්ශන ක්‍රියාවලියන්හි විශාල අර්බුද ගණනාවක් පැන නැගී ඇති හෙයින්, වහාම එම තනතුර පිරවීමට කටයුතු කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටිති. මෙම තත්ත්වය රාජ්‍ය ආයතනවල විනිවිදභාවය සහ ගණනය බැලීමේ ක්‍රියාවලියන්ට බරපතල බලපෑම් එල්ල කර ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.