ඉස්සරහට ගිනි පෙට්ටි වෙළඳපළේ නැහැ - මෙන්න හේතුව
මේ වන විට ප්‍රමිතියකින් තොරව ප්ලාස්ටික් ලයිටර් ආනයනය කිරීම හේතුවෙන් දේශීය ගිනිපෙට්ටි කර්මාන්තය කඩා වැටීමකට ලක්වී ඇති බවට ගිනිපෙටි නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් ඉදිරියේදී වෙළඳපොළ තුළ ගිනි පෙට්ටි හිඟයක් නිර්මාණය වීමට ඉඩකඩ තිබේ. ඒ වගේම එම කර්මාන්තයේ සෘජුව සහ වක්‍රව දැනට සේවය කරන විසි පන්දාහකගේ පමණ රැකියා අහිමිවීමටද අවදානමක් පවතින බව එම සංගමය පෙන්වයි.
මෙම ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ගිනිපෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමය සභාපති සඳහන් කළේ පහත ආකාරයේ ප්‍රකාශයකි,
"''දැනට අවුරුදු දෙක හමාරක පමණ සිට විදේශ රටවලින් ප්ලාස්ටික් ලයිටර් වගයක් ආනයනය කරනවා. මේකට නමක් නෑ. නිෂ්පාදන වර්ෂයක් නෑ. ප්‍රමිතියක් නෑ. මේවා ගෙන්වලා රට පුරාම බෙදා හරිනවා. මේ ලයිටර් එක් වරක් භාවිතා කරල විසි කරන එකක්. මේ නිසා පරිසරයට සිදුවන හානිය විශාලයි. දේශීය ගිනි පෙට්ටි කර්මානතය කාලයක් පුරා මේ රටේ තිබුණ ප්‍රධාන කර්මාන්තයක්. ලක්ෂයකට වැඩි පිරිසක් මේ කර්මාන්තයේ රැකියා කළා.
මේ වන විට පිරිස 25,000කට අඩු වෙලා තියෙනවා. මේ යන විදිහට ඒ අයගෙත් රැකියා අහිමි වෙන්න පුළුවන්. මුලින් ආනයනය කරන ලයිටරයක් සඳහා තිබුණ සෙස් බද්ද රුපියල් 60ක් පසුගිය රජයන් කාලයේ ඒක අඩු කරල තියෙනවා රුපියල් 1.50කට. දැන් ඇතැම් ව්‍යාපාරිකයින් කිසිදු ප්‍රමිතියක් නැති බාල ලයිටර් ගෙනල්ලා රුපියල් 25ට විකුණනවා. ගිනි පෙට්ටියක් අපි විකුණන්නේ රුපියල් 20කට. අපි රජයට හැම බද්දක්ම ගෙවනවා. එස්. එල්. එස් සහතිකය ලබා ගන්නවා. නමුත් මේ ලයිටර් ගෙන්වන අය පොඩි ගාණක් ගෙවල අඩු මුදලට විකුණනවා. මේක අපි නවත්වා ගත්තේ නැත්නම් දේශීය ගිනි පෙට්ටි කර්මාන්ත ශාලා ඔක්කොම වහන්න වෙනවා"