පාතාල වෙඩි තැබීමේ සිද්ධියට අදාළ කාන්තාව අත්අඩංගුවට... (VIDEO) (UPDATE)

Matara Crime Branch Criminal Investigation Department Crime Sinhala news
By Akash Mar 22, 2025 03:18 PM GMT
Akash

Akash

Report

සාදයකට ගොස් නැවත නිවෙස වෙත යමින් සිටියදී මාතර දෙවුන්දර දී තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ ඩුබායි හී සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් 'බාලේ මල්ලි' නම් අපරාධකරු විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බවයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති උපන්දින සාදයකට සහභාගි වී පැමිණෙමින් සිටි 29 හැවිරිදි පසිඳු තාරක හා යොමේෂ් නදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.

-----------------------------------

2ක් මරුට.... පාතාලයේ තවත් වෙඩිල්ලක්... ? දෙවුන්දර භීතිය 

මහා හඬින් වෙඩි වරුසාවක් ඇසුණු පුවතක් අපට වාර්තා වන්නේ දකුණු පුරවරේ මාතර දෙවුන්දර ප්‍රදේශයෙන්. ඒ මේ ලෝකේ සුරකින මහා ශ්‍රී විෂ්ණු දේවාලයෙන්.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ.

ඝාතනය වූ තරුණයින් දෙදෙනාගේ යහළුවෙකුගේ උපන්දින සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර, එයට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී පසුපසින් පැමිණි වැන් රථය යතුරුපැදියේ හප්පා තිබේ.

ඉන් අනතුරුව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39ක්, ජීව උණ්ඩ 02ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02ක් සොයාගැනීමට හැකිව තිබේ.

මේ අතර වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිනිතබා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

එය තුළ ටී-56 තුවක්කුවකට යොදන මැගසීනයක් හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වී තිබේ. මෙම වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමේෂ් නදීෂාන් හා පසිදු තාරුක නැමති 28 හා 29 වියේ පසු වූ තරුණයන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.

වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් අද (22) අළුයම් කාලයේදිම සිදු කළේය. වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් හෝ මෙම වෙඩිතැබීමට හේතුව පිලිබඳව මෙතෙක් කිසිවක් අනාවරණය වී නොමැත. වෙඩිතැබීම සම්බන්ධයෙන් ⁣පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ReeCha