ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් අක්තාර්ට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොකු වගකීමක් ලැබෙන ලකුණු?
පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර්ට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (PCB) ප්‍රධාන තනතුරක් ලබාදීමට සූදානමක් පවතින බව වාර්තා වේ.
එංගලන්ත සංචාරයේදී පාකිස්තාන කණ්ඩායම දැක්වූ දුර්වල දස්කම්වලින් පසුව, එරට ක්‍රිකට් පාලන ව්‍යුහයේ වෙනස්කම් සිදු කිරීමට PCB අවධානය යොමු කර ඇති අතර, ඒ යටතේ ෂොයිබ් අක්තාර්ටද ප්‍රධාන වගකීමක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් වේ.
PCB ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ, ඉස්ලාමාබාද්හි පදිංචි ෂොයිබ් අක්තාර් පසුගිය සතියේ PCB සභාපති මොහ්සින් නක්වි හමුවී ඇති බවයි.
එම හමුවේදී පාකිස්තාන ක්‍රිකට් සම්බන්ධ කරුණු පිළිබඳව දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද එම ආරංචි මාර්ගය සඳහන් කර තිබේ. මීට සති කිහිපයකට පෙර ෂොයිබ් අක්තාර්ගේ වැඩිමහල් සහෝදරයා මියගිය අවස්ථාවේදී මොහ්සින් නක්වි ඔහු සමඟ සමීපව කටයුතු කර සහාය ලබාදී තිබූ බවත්, එම ක්‍රියාකලාපය ෂොයිබ්ගේ පැසසුමට ලක්වූ බවත් ආරංචි මාර්ගය පවසා ඇත.
අතීතයේදී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පාකිස්තාන ක්‍රිකට් සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ විවේචනාත්මක අදහස් පළ කළ පුද්ගලයෙකු ලෙසද ෂොයිබ් අක්තාර් ප්‍රකටය. මොහ්සින් නක්වි සිය ඉදිරි සැලසුම් ෂොයිබ් අක්තාර් සමඟ බෙදාගෙන ඇති අතර, ජාතික ක්‍රිකට් ඇකඩමිය (NCA) සහ පුහුණු කඳවුරු වෙත පැමිණෙන ලෙසද ඔහුට ආරාධනා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ෂොයිබ් අක්තාර්ට ප්‍රධාන තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවත්, කෙසේ වෙතත් ඔහු සභාපතිවරයා හමුවූ අවස්ථාවේදී පාකිස්තාන ක්‍රිකට් ඉදිරියට ගෙන යාම සඳහා තම අදහස් සහ කොන්දේසි ඉදිරිපත් කර ඇති බවත් ආරංචි මාර්ගය සඳහන් කර තිබේ.
විදේශීය පුහුණුකරුවන් ගැනත් අවධානය ෂොයිබ් අක්තාර්ට අමතරව, ජාතික කණ්ඩායම් සඳහා විදේශීය පුහුණුකරුවන් සහ උපදේශකයන් කිහිපදෙනෙකු පත් කිරීමටද PCB අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු Shane McDermott සහ පිතිකරණ පුහුණුකරු Ashley Noffke හදිසියේම ඉවත්වීමෙන් පසුව මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව සඳහන් වේ.
එමෙන්ම පාකිස්තාන කාන්තා ජාතික කණ්ඩායම සඳහා ස්ථිර සහ දිගුකාලීන ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමටද PCB සලකා බලමින් සිටින බව වාර්තා වේ.
PCB ආරංචි මාර්ගයට අනුව, ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම් මෙන්ම Shaheens සහ කනිෂ්ඨ කණ්ඩායම්වලින්ද මීට වඩා හොඳ ප්‍රතිඵල අපේක්ෂා කරන බව සභාපති මොහ්සින් නක්වි පැහැදිලි කර තිබේ.
මේ අතර, එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමත් සමඟ එංගලන්ත භූමියේදී පළමු වරට ටෙස්ට් තරගාවලියක් සම්පූර්ණයෙන් පරාජයට පත්වීමේ අවාසනාවන්ත වාර්තාවකට පාකිස්තානය හිමිකම් කීවේය.