ශෂී වීරවංශට අධිකරණයෙන් ඇප ලබාදෙයි
අවිධිමත් ලෙස විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් නියම වී සිටි ශෂී වීරවංශ මහත්මිය පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති අතර, එම අවස්ථාවේදී ශෂී වීරවංශ මහත්මියද අධිකරණයේ පෙනී සිටියාය.
ආගමන හා විගමන පනත යටතේ වූ චෝදනාවලට වරදකරු වීමෙන් අනතුරුව 2022 වසරේදී ඇයට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබූ බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර, ඊට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එම අභියාචනය ලබන මස කරුණු තහවුරු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බැවින්, එතෙක් ඇය පෙර ඇප මත මුදාහරින ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.
ඒ අනුව, මහාධිකරණ තීන්දුවට එරෙහිව දින 42ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය අනුව ඇය එම අභියාචනය ඉදිරිපත් කර ඇති බව සලකා, ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ පිළිබඳ දැනුම්දීමට යටත්ව ශෂී වීරවංශ මහත්මිය පෙර ඇප මත මුදාහැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අදාළ නඩුව යළි සැප්තැම්බර් 27 වැනිදා කැඳවීමටද අධිකරණය නියම කර තිබේ.