දුම්වැටි බදු ඉහළ දැමීමේ ප්‍රතිඵල එළියට - වසර 3කදී නිෂ්පාදනය 32%කින් අඩුවෙයි
දුම්වැටි සඳහා පනවා ඇති බදු සංශෝධනවල බලපෑම හේතුවෙන් 2022 වසරේ සිට 2025 වසර දක්වා මෙරට දුම්වැටි නිෂ්පාදනය 32%කින් පමණ අඩුවී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (20) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව, 2022 වසරේදී බිලියන 2.8ක් වූ දුම්වැටි නිෂ්පාදනය 2025 වසර වන විට බිලියන 1.9ක් දක්වා පහත වැටී තිබේ. දුම්කොළ භාවිතයෙන් ඇතිවන සෞඛ්‍ය හා සමාජ-ආර්ථික බලපෑම් අවම කිරීම මෙන්ම රජයේ ආදායම් ඉහළ නැංවීම ද දුම්වැටි බදු ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
2023 වසරේ සිට නිෂ්පාදන බදු අවස්ථා හතරකදී සංශෝධනය කර ඇති අතර, 2023 ජනවාරි සහ ජූලි මාසවලදී 20% බැගින්ද, 2024 ජනවාරි මාසයේදී 14%කින්ද, 2025 ජනවාරි 11 වැනිදා 5.9%කින්ද එම බදු ඉහළ නංවා ඇත.
මීට අමතරව, 2024 ජනවාරි 1 වැනිදා සිට VAT බද්ද 15% සිට 18% දක්වාත්, 2025 අප්‍රේල් 1 වැනිදා සිට සංස්ථාපිත ආදායම් බද්ද 40% සිට 45% දක්වාත් ඉහළ දමා තිබේ.
2025 ජනවාරි 11 වැනිදා සිට දුම්වැටියක දිග අනුව අය කෙරෙන බද්ද රුපියල් 26.59 සිට රුපියල් 109.95 දක්වා පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. බදු ඉහළ දැමීමත් සමඟ සෘජු හා වක්‍ර බදු ආදායම් වර්ධනය වී ඇති අතර, එමගින් ජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමට මෙන්ම රජයේ ආදායම් කළමනාකරණයටද දායකත්වයක් ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.