වේරහැරට ලයිසන් එක හදන්න යන්නේ බලාගෙන - වංචාවක් පිළිබදව තොරතුරු එළියට
වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින් රවටා ව්‍යාජ රියදුරු බලපත්‍ර ලබාදීමේ ජාවාරමකට සම්බන්ධ එම දෙපාර්තමේන්තුවේම ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යාංශයේ විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු සහ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙකු බව පොලීසිය පවසයි.
වේරහැර කාර්යාලය අසල මෙම ජාවාරම සිදුවන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අකලංග මහතාගේ උපදෙස් මත උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම සිදු කර ඇත.
එහිදී රුපියල් 10,000ක මුදලක් ගෙවා රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ප්‍රධාන සැකකරු මුලින්ම අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, රියදුරු බලපත්‍ර සඳහා යොදාගන්නා නිල ආරක්ෂිත ස්ටිකර් (Security Stickers) ලබාදුන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන ආරක්ෂක නිලධාරියා ද අත්අඩංගුවට පත්විය.
ඔහු සන්තකයේ තිබී ආරක්ෂිත ස්ටිකර් 09ක් ද පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.