පැරිස් අසල ඉදිවන Dragon Ball Z උද්‍යානයට සෞදියෙන් බිලියන 7ක්
ප්‍රංශය සහ සෞදි අරාබිය අතර ඩොලර් බිලියන 7ක් හෙවත් යුරෝ බිලියන 6ක් පමණ වටිනා Dragon Ball Z තේමාවෙන් යුත් දැවැන්ත විනෝද උද්‍යානයක් ප්‍රංශයේ පැරිස් නුවර ආසන්නයේ ඉදිකිරීමට එකඟතාවකට පැමිණ තිබේ.
ප්‍රංශ අගනුවරට වයඹ දෙසින් පිහිටි Cergy-Pontoise ප්‍රදේශය ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, එහි මූල්‍ය දායකත්වය සෞදි අරාබියේ විනෝදාස්වාද හා ආයෝජන සමූහයක් වන Qiddiya විසින් ලබාදීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය මගින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 22,000කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම තේමා උද්‍යානය තනි ව්‍යාපෘතියක් ලෙස නොව, තේමා උද්‍යාන තුනකින් සමන්විත විශාල විනෝදාස්වාද මධ්‍යස්ථානයක කොටසක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
ජපාන මංගා සහ ඇනිමේ නිර්මාණකරුවෙකු වූ අකිරා තොරියාමා විසින් නිර්මාණය කරන ලද ලොව පුරා ජනප්‍රිය Dragon Ball කතා මාලාව මෙම නව තේමා උද්‍යානය සඳහා පදනම් වී ඇත. Dragon Ball Z චරිත, කතාංග සහ මනඃකල්පිත ලෝකය ආශ්‍රිත විනෝදාස්වාද අත්දැකීම් මෙහි ඇතුළත් කිරීමට නියමිතව තිබුණද, ව්‍යාපෘතියේ ඇතැම් විස්තර තවදුරටත් අවසන් කරමින් පවතින බව වාර්තා වේ. කෙසේ වෙතත්, තේමා උද්‍යානය විවෘත කරන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.