නේපාල ගංවතුරේ මරණ 469යි - 1,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්
නේපාලයට බලපෑ දැවැන්ත හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයන් 1,400කට අධික පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
අතුරුදන් වූ විදේශිකයන් අතර වැඩිම පිරිසක් ඉන්දියානුවන් වන අතර, නේපාල සංචාරක මණ්ඩලයේ නවතම දත්ත අනුව ඉන්දියානු ජාතිකයන් 178 දෙනෙකු පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
තවත් ඉන්දියානුවන් 11 දෙනෙකු මුදාගෙන තිබේ. අතුරුදන්ව සිටින පිරිස අතර නේපාලයේ සංචාරය කළ විදේශීය සංචාරකයන් මෙන්ම හිමාලය හරහා ගමන් කළ ට්රෙකර්වරුන් සහ ටිබෙටයේ පූජනීය කයිලාෂ් කන්ද වන්දනා කිරීමට ගිය හින්දු බැතිමතුන් ද සිටින බව සඳහන් වේ.
මේ අතර, නේපාලය සහ චීනය අතර පිහිටි රසුවාගාධි දේශසීමා මුරපොළ ප්‍රදේශයේ තත්ත්වය දැඩි අවදානමකට පත්ව තිබේ. නව චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්වා දෙන්නේ ග්ලැසියර ආශ්රිත ගංවතුර හේතුවෙන් එම දේශසීමා මුරපොළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
එමෙන්ම, චීන බලධාරීන් පවසන්නේ ටිබෙට්–නේපාල දේශසීමාවේ විශාල ජල කඳක් එක්රැස් වෙමින් පවතින බවත්, එය බැම්මක් බිඳී යාමක් වැනි ආපදා තත්ත්වයකට ලක්වුවහොත් පහළ ප්‍රදේශවලට තවදුරටත් දැඩි බලපෑම් එල්ල විය හැකි බවත්ය.
චීනයෙන් නව අනතුරු ඇඟවීමක් නේපාල දේශසීමාව ආසන්න ටිබෙට් ප්‍රදේශයට චීනය විසින් සිව්වැනි මට්ටමේ හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. බදාදා සිදුවූ නායයෑමකින් පසු ගංගා දෙකක් එක්වන ස්ථානයේ නිර්මාණය වූ මෙම ජල කඳ තුළ බ්‍රහස්පතින්දා උදෑසන වනවිට ඝන මීටර් මිලියන දෙකක පමණ ජල ප්‍රමාණයක් එක්රැස් වී තිබූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රදේශයට තවදුරටත් වර්ෂාපතනයක් ලැබුණහොත් ජල ප්‍රවාහය ඝන මීටර් මිලියන තුනක් පමණ දක්වා ඉහළ යා හැකි අතර, එමගින් ජල කඳේ බැම්ම බිඳී යාමේ අවදානමක් පවතින බව චීන බලධාරීන් අනතුරු අඟවා තිබේ.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් චීන–නේපාල දේශසීමාවේ ගිරොං වරාය ඇතුළු පහළ ප්‍රදේශවලට තවදුරටත් දැඩි හානි සිදුවිය හැකි බවටද අනතුරු අඟවා ඇත.
අතුරුදන් වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක් ගංවතුර සහ මඩ පහර හේතුවෙන් විනාශ වූ කඳුකර ප්‍රදේශවල අතුරුදන් වූ පුද්ගලයන් සොයා නේපාල ආරක්ෂක අංශ සහ හමුදා හෙලිකොප්ටර් යොදා ගනිමින් දැවැන්ත සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
ග්ලැසියරයක් කඩා වැටීමෙන් ඇති වූ දැවැන්ත ජල හා මඩ පහරක් කඳුකර ප්‍රදේශ හරහා ගලා යාමත් සමඟ නිවාස, ගොඩනැගිලි සහ පාලම් රැසක් විනාශ වී තිබේ.
හිමාලයානු කඳුකරයේ ඇති ග්ලැසියර දියවීම සහ අධික වර්ෂාපතනය හේතුවෙන් මෙවැනි ගංවතුර හා නායයෑම් ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව විශේෂඥයන් පෙන්වා දෙති. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස සමඟ ග්ලැසියර දියවීමේ වේගයද ඉහළ ගොස් තිබේ.
විදෙස් සහාය සම්බන්ධයෙන් නේපාලයේ තීරණය මේ අතර, සෝදිසි සහ මුදාගැනීමේ කටයුතු සඳහා විදෙස් රටවල් කිහිපයක් ඉදිරිපත් කළ කණ්ඩායම් සහාය නේපාල රජය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නේපාල රජයේ අදහස වී ඇත්තේ එරට ආරක්ෂක අංශවලට දැනට සිදුකරන සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් තනිවම කළමනාකරණය කළ හැකි බවයි. ඒ වෙනුවට විදෙස් රටවලින් මූල්‍ය ආධාර එක් ක්‍රමවේදයක් යටතේ ලබාගැනීමට නේපාලය අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය හා අනෙකුත් සහාය පසුව ලබාගැනීමටද රජය අපේක්ෂා කරයි. මේ වනවිට රටවල් කිහිපයක් නේපාලයට මූල්‍ය ආධාර ලබාදීමට ඉදිරිපත් වී ඇති අතර, තවත් රටවල් සෝදිසි, මුදාගැනීම්, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.