නේපාල ව්‍යසනයට මාස 5කට පෙර අනතුරු ඇඟවීම් දෙකක් එළියට ඇවිත් - හිමාලයේ සැඟවුණු අවදානම ගැන හෙළිදරව්වක්

Report

නේපාලයට බලපෑ දැවැන්ත ගංවතුර හා නායයෑම් ව්‍යසනයට මාස පහකට පමණ පෙර, හිමාලයානු ග්ලැසියර වේගයෙන් දියවීම සහ ඉදිරියේදී ඇති විය හැකි දැඩි අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම් ඇතුළත් වාර්තා දෙකක් නිකුත් කර තිබූ බව අනාවරණය වී තිබේ.

හින්දු කුෂ්-හිමාලයානු කලාපයේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන අන්තර් රාජ්‍ය දැනුම් හා ඉගෙනුම් මධ්‍යස්ථානයක් වන කත්මණ්ඩු නුවර පිහිටි International Centre for Integrated Mountain Development (ICIMOD) විසින් මෙම වාර්තා දෙක පසුගිය මාර්තු මාසයේදී නිකුත් කර තිබිණි.

ඉන්දියාව, නේපාලය, භූතානය සහ චීනය ඇතුළු රටවල් සාමාජිකත්වය දරන ICIMOD පෙන්වා දී තිබුණේ හින්දු කුෂ්හි-මාලයානු කලාපයේ ග්ලැසියර දියවීමේ වේගය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි.

නේපාල ගංවතුරේ මරණ 469යි - 1,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්

නේපාල ගංවතුරේ මරණ 469යි - 1,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්

1975 වසරේ සිට මේ දක්වා ඇතැම් ග්ලැසියරවල අයිස් ඝනත්වය මීටර් 27ක් දක්වා අඩුවී ඇති බවද එම වාර්තා අනාවරණය කර තිබේ. එම තත්ත්වය ඉදිරියේදී දැඩි අවදානමක් ඇති කළ හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවා ඇති අතර, ආසියාවේ “ජල කුලුනු” ලෙස සැලකෙන මෙම කලාපයේ ග්ලැසියර දියවීම මත පහළ ප්‍රදේශවල වෙසෙන බිලියන දෙකකට ආසන්න ජනතාවක් යැපෙන බවද සඳහන් කර ඇත.

ග්ලැසියර දියවීම වේගවත් වෙයි

ICIMOD විසින් නිකුත් කළ එක් වාර්තාවක් වන HKH Glacier Outlook 2026 මගින් නිරීක්ෂණය කරන ලද ග්ලැසියර 38ක දත්ත විශ්ලේෂණය කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ වර්ෂ 2000න් පසු ග්ලැසියර අහිමි වීමේ වේගය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. මෙය හිමාලයානු ග්ලැසියර පද්ධතියේ ඇතැම් කොටස් ආපසු හැරවිය නොහැකි ලෙස දියවී යාමේ තීරණාත්මක අවස්ථා ආසන්නයට පැමිණ ඇති බවට සංඥාවක් බව ICIMOD පෙන්වා දෙයි.

තවත් වාර්තාවක සඳහන් වන්නේ 1990 සිට 2020 දක්වා කාලය තුළ හින්දු කුෂ්–හිමාලයානු කලාපයේ ග්ලැසියරවල සමස්ත ප්‍රමාණය සියයට 12කින් පමණ අඩු වී ඇති අතර, ඒවායේ ඇස්තමේන්තුගත අයිස් සංචිතවලින් සියයට 9ක් පමණ අහිමි වී ඇති බවයි.

කෙසේ වෙතත්, ග්ලැසියර නිරීක්ෂණ සම්බන්ධයෙන් සැලකිය යුතු දත්ත හිඟයක් පවතින බවද ICIMOD අවධාරණය කර තිබේ. නිරීක්ෂණයට ලක් වූ ග්ලැසියර 38න් ගෝලීය ග්ලැසියර නිරීක්ෂණ සේවයේ ප්‍රමිතීන් සපුරා ඇත්තේ ග්ලැසියර හතක් පමණක් බව එම වාර්තාවේ සඳහන් වේ.

විශාල ග්ලැසියර පද්ධති පවතින කරකෝරම්, සිකිම්, සන්ස්කාර් සහ භූතානය වැනි ප්‍රදේශවල තත්ත්වය පිළිබඳව ප්‍රමාණවත් නිරීක්ෂණයක් සිදු නොවන බවද වාර්තා කර තිබේ.

නේපාල ගංවතුරට දේශගුණික විපර්යාස බලපා තිබේද?

නේපාලයේ මෑතකදී සිදුවූ ගංවතුරට නිශ්චිත හේතුව තවමත් විද්‍යාඥයන් විසින් පරීක්ෂා කරමින් සිටින අතර, එය සාධක කිහිපයක එකතුවක් විය හැකි බවට මත පළ වී තිබේ. ඒ අතරින් වඩාත් අවධානයට ලක්ව ඇති කරුණක් වන්නේ අධික උන්නතාංශවලදී හිම වැටීම වෙනුවට වර්ෂාව ලැබීමයි.

මීටර් 4,000කට වැඩි උන්නතාංශයක පවා වර්ෂාව ඇතිවීම උෂ්ණත්වය ඉහළ යාම සමඟ සම්බන්ධ විය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙති. ICIMOD පර්යේෂකයන් මේ වනවිට ඉහළ කඳුකර ප්‍රදේශයකින් ආරම්භ වූ අයිස් සහ ගල් කඳු කඩා වැටීමක් මෙම ගංවතුරට හේතු වූයේද යන්න පිළිබඳවද විමර්ශනය කරමින් සිටිති.

එවැනි අයිස් සහ ගල් විශාල ප්‍රමාණයක් භෝටේ කොෂි ගංගාවේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොළා වෙත එක්වීමෙන් ජලය, මඩ සහ විශාල ගල් කැබලි සහිත දැවැන්ත ජල පහරක් පහළ ප්‍රදේශ වෙත ගලා යන්නට ඇති බවට සැක කෙරේ.

ICIMOD හි ජ්‍යෙෂ්ඨ ක්‍රයෝස්ෆියර් විශේෂඥ මොහොමඩ් ෆාරූක් අසාම් පෙන්වා දී ඇත්තේ ග්ලැසියර පසුබැසීමත් සමඟ හිම ආවරණය අඩුවීම, නිරාවරණය වන පාෂාණ හා හිස් භූමි ප්‍රමාණය වැඩිවීම සහ පර්මාෆ්‍රොස්ට් දියවීම කඳු බෑවුම් වඩාත් අස්ථාවර කිරීමට හේතු වන බවයි.

බිලියන ගණනක ජනතාවකට බලපාන අවදානමක්

ලෝකයේ ධ්‍රැවීය ප්‍රදේශවලින් පිටත විශාලතම අයිස් සංචිතය පවතින්නේ හින්දු කුෂ්–හිමාලයානු කලාපයේය. ICIMOD දත්ත අනුව එම කලාපයේ ග්ලැසියර 63,700කට අධික සංඛ්‍යාවක් පවතින අතර ඒවා වර්ග කිලෝමීටර් 55,000කට වැඩි ප්‍රදේශයක් ආවරණය කරයි.

එම ග්ලැසියර ආසියාවේ ප්‍රධාන ගංගා පද්ධති 10කට ජලය සපයන අතර, බිලියන ගණනක ජනතාවගේ ආහාර, ජලය, බලශක්තිය සහ ජීවනෝපාය සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙයි.

විශේෂයෙන් මීටර් 4,500ත් 6,000ත් අතර උන්නතාංශයක පිහිටි ග්ලැසියර ප්‍රදේශවලින් සියයට 78ක් පමණ උන්නතාංශය අනුව සිදුවන උෂ්ණත්ව ඉහළ යාමේ බලපෑමට දැඩි ලෙස නිරාවරණය වී ඇති බව ICIMOD පෙන්වා දෙයි.

එමෙන්ම, 1990 සිට 2020 දක්වා කාලය තුළ නැගෙනහිර හෙන්ග්ඩුවාන් ෂාන් කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල ග්ලැසියර ප්‍රමාණයෙන් සියයට 33ක් දක්වා අහිමි වී ඇති බවද වාර්තා කර තිබේ.

ග්ලැසියර ප්‍රමාණයේ විශාලතම සමස්ත අඩුවීම් ඉන්දු, ගංගා සහ බ්‍රහ්මපුත්‍ර ගංගා ද්‍රෝණි ආශ්‍රිතව වාර්තා වී ඇති අතර, කලාපයේ ග්ලැසියරවලින් සියයට 74කට වැඩි ප්‍රමාණයක් එම ද්‍රෝණිවල පිහිටා තිබීම තත්ත්වයේ බරපතළකම තවදුරටත් ඉස්මතු කරයි.

මේ අනුව, නේපාලයේ මෑතකාලීන ව්‍යසනය නිශ්චිතවම දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවූවක් බව තහවුරු කිරීමට තවදුරටත් විද්‍යාත්මක පරීක්ෂණ අවශ්‍ය වුවද, මීට මාස කිහිපයකට පෙර නිකුත් කළ ICIMOD වාර්තා මගින් හිමාලයානු කලාපයේ ඉහළ යමින් පවතින අවදානම පිළිබඳ පැහැදිලි සංඥාවක් ලබාදී තිබූ බව පෙනී යයි.

නේපාල-ටිබෙට් දේශසීමාවේ හදිසි ගංවතුරින් මියගිය ගණන 392 දක්වා ඉහළට

නේපාල-ටිබෙට් දේශසීමාවේ හදිසි ගංවතුරින් මියගිය ගණන 392 දක්වා ඉහළට