වගාවට රිලවු එනවැයි කියා අභයභූමිය ඩෝසර් කරලා
වගා බිම්වලට රිලව් එන බව පවසමින් කහල්ල පල්ලේකැලේ අභයභූමිය නීති විරෝධී ලෙස එළිකරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු JBC යන්ත්‍රයක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත. ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම සිදුවන අවස්ථාව වනවිටත් සැකකරුවන් JBC යන්ත්‍රයක් යොදා ගනිමින් කහල්ල පල්ලේකැලේ අභයභූමියේ කැලෑව එළී කරමින් සිටි බව වනජීවී නිලධාරීන් පවසයි.
ගල්කිරියාගම වනසත්ව අඩවි බල ප්‍රදේශයේ කහල්ල පල්ලේකැලේ අභය භූමියට අයත් වල්පාලුගමදී මෙම ඉඩම් එළි කිරීම සිදුකර ඇත. මේ ආකාරයට අක්කර 05ක පමණ භූමි ප්‍රමාණයක් තවදුරටත් එළි කිරීමට සැකකරුවන් කටයුතු කර ඇත. සැකකරුවන් අභය භූමියේ කැළෑව ගිනි තබා විනාශ කර දැමීමට ද පියවර ගෙන ඇති බවට ද වාර්තා වේ.
තමන්ගේ වගාවන්ට රිලවු එන බැවින් අභයභූමිය මෙලෙස එළි කිරීමට කටයුතු කළ බවයි සැකකරුවන් වනජීවී නිලධාරීන් හමුවේ ප්‍රකාශ කොට ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර බැකෝ යන්ත්‍රයේ රියදුරු ද වේ. මෙම අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ අදාළ බැකෝ යන්ත්‍රය හෙට (29) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.