ජනපති අනුර කුමාර එක උත්සවයකට මිලියන 11ක් වියදම් කරාද? ආන්දෝලනාත්මක අනාවරණයක්
'තිනකුරල්' පුවත්පත වාර්තා කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය යාපනය සංචාරය අතරතුර කොක්කුවිල් තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති එක් උත්සවයක් සඳහා පමණක් රුපියල් එක් කෝටි දස ලක්ෂ හැත්තෑ නවදහස් හැත්තෑපහයි ශත පනහක (11,079,075.50$) දැවැන්ත මුදලක් වැය කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් වාර්තා මගින් අනාවරණය වී ඇති බවයි.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ අයදුම්පතකට ලැබුණු පිළිතුරු මගින් මෙම වියදම් විස්තර හෙළි වී ඇති අතර පසුගිය ජනවාරි මාසයේ තායිපොංගල් දිනට පසු දින මෙම උත්සවය පවත්වා ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව වියදම් බෙදී ගොස් ඇත්තේ මෙලෙසිනි.
- ප්‍රදර්ශන කුටි සහ මණ්ඩප සැකසීම: උත්සවය සඳහා ඉදිකළ දැවැන්ත මණ්ඩපය වෙනුවෙන් පමණක් රුපියල් 5,237,000 ක මුදලක් වැය කර ඇත.
- ආහාර සහ සංග්‍රහ කටයුතු: උත්සවයට සහභාගී වූවන් සඳහා ලබාදුන් කෙටි ආහාර සහ සංග්‍රහ කටයුතු වෙනුවෙන් රුපියල් 3,113,000 ක් වැය වී තිබේ.
- ප්‍රවාහන වියදම්: ජනතාව උත්සව භූමියට රැගෙන ඒම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 75 ක් කුලියට ගෙන ඇති අතර, ඒ සඳහා රුපියල් 2,343,000 ක මුදලක් ගෙවා ඇත.
- මීට අමතරව මීසාලෙයි ප්‍රදේශයේ පැවැති නිවාස ආධාර ලබාදීමේ උත්සවයකට ජනතාව කැඳවාගෙන ඒමට පෞද්ගලික බස් රථ 11 ක් වෙනුවෙන් රුපියල් 223,000 ක් වැය කර ඇත.
- පෝස්ටර් සහ බැනර්: උත්සවයේ ප්‍රදර්ශනය කළ පුවරු (Banners) වෙනුවෙන් රුපියල් 51,700 ක මුදලක් වැය වී ඇත.
- වෙනත් වියදම්: අමුත්තන් පිළිගැනීමේ වියදම් ලෙස රුපියල් 23,375 ක්
- පානීය ජලය සහ වැසිකිළි පහසුකම් සඳහා රුපියල් 36,000 ක්
- පූර්ව සූදානම් කටයුතු සඳහා රුපියල් 118,000 ක්
- අනෙකුත් පොදු වියදම් ලෙස රුපියල් 154,000 ක් ද වැය කර ඇත.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම 'මුළු රටම එකට' ජාතික මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන සංවිධානය කර ඇත. ජනාධිපතිවරයා එදිනම මන්නාරම සුළං විදුලි බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට මෙන්ම වේලනෙයි සහ මානිප්පායි මරුදඩි කෝවිලේ පැවැති පොංගල් උත්සවයන්ට ද සහභාගී වී ඇත.