රෝහිත් ශර්මාගේ යුගය අවසන්ද - 2027 ලෝක කුසලානයට පෙර ‘හිට්මෑන්’ට විවේකයක් දෙන්න සුදානමක්
බෙංගාලයෙන් බිහිවු ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රෝහිත් ශර්මාගේ එක්දින ක්‍රිකට් අනාගතය පිළිබඳව යළිත් අවධානය යොමු වී තිබේ. එංගලන්තයට එරෙහි දෙවැනි එක්දින තරගයේදී ඔහු ලකුණු 26කට දැවී යාමත් සමඟ ඔහුගේ අනාගතය සම්බන්ධයෙන් පවතින සැකයන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එංගලන්ත සංචාරය සඳහා ඉන්දීය කණ්ඩායම නම් කළ අවස්ථාවේ සිටම 39 හැවිරිදි රෝහිත් ශර්මා 2027 එක්දින ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කරනු ඇත්ද යන්න පිළිබඳව කතාබහක් පැවතිණි.
ඉන්දියාවේ අනාගත සැලසුම් සමඟ තරුණ පිතිකරු යශස්වි ජයිස්වාල් ද කණ්ඩායමට එක්වීමට බලා සිටීම රෝහිත්ගේ ස්ථානය පිළිබඳ තත්ත්වය තවත් සංකීර්ණ කර ඇති බව සඳහන් වේ.
බර්මින්හැම්හි පැවති පළමු එක්දින තරගයේදී රෝහිත් ලකුණු 11කට දැවී ගිය අතර, දෙවැනි තරගයේදී පන්දු 47කට මුහුණ දෙමින් ලබාගත්තේ ලකුණු 26ක් පමණි. ඒ අනුව, ඉන්දියාව සහ එංගලන්තය අතර ජූලි 19 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගය රෝහිත් ශර්මාගේ අවසන් එක්දින තරගය විය හැකි බවට වාර්තා පළ වී තිබේ. පසුගිය එක්දින තරග 8 තුළදී රෝහිත් ලබාගෙන ඇත්තේ ලකුණු 241ක් පමණක් වන අතර, එහි සාමාන්‍යය 30.1ක් සහ ප්‍රහාරක වේගය 88.6ක් ලෙස දැක්වේ. එම කාලය තුළ ඔහු එක් අර්ධ ශතකයක් පමණක් වාර්තා කර ඇත.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) තේරීම් කටයුතු සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ, යශස්වි ජයිස්වාල්ට වැඩි අවස්ථා ලබාදීමට තේරීම් කමිටුව අවධානය යොමු කර ඇති බවයි. “ජයිස්වාල් ඉනිම් තුනකදී ශතක දෙකක් ලබාගෙන තිබෙනවා.
ඔහුට ඉදිරි තරග 20ක පමණ කාලයක් ලබාදිය යුතුයි. රෝහිත්ට විශ්‍රාම යන්නැයි කිසිවෙකුට පැවසිය නොහැකි නමුත්, ඉදිරියේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ගෘහස්ථ තරගාවලියේදී අනාගතය පිළිබඳ අවධානය යොමු කිරීමට තේරීම්කරුවන්ට අවශ්‍ය වී තිබෙනවා” යනුවෙන් එම නිලධාරියා පවසා ඇතැයි සඳහන් වේ.
මේ අතර, ඉන්දීය එක්දින කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති අජිත් අගර්කාර් එංගලන්ත සංචාරයේ තේරීම්කරුවෙකු ලෙස කටයුතු කරන අතර, 2027 එක්දින ලෝක කුසලානය සඳහා රෝහිත් ශර්මා සම්බන්ධයෙන් සැලසුම් නොකරන බවට ද වාර්තා පළ වී තිබේ.
එම තීරණය ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් වෙත ද දැනුම් දී ඇති බව වාර්තා වේ.
රෝහිත්ගේ ප්‍රතිචාරය ඉන්දීය මාධ්‍ය වාර්තාවකට අනුව, BCCI තේරීම්කරුවන් විසින් එංගලන්ත සංචාරයෙන් පසු රෝහිත් ශර්මාගේ සේවය ඉදිරියට ලබා නොගැනීමට තීරණය කර ඇති බව ඔහුට දැනුම් දී තිබේ.
රෝහිත් තවදුරටත් ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් සිටියද, ඔහුගේ අනාගත තීරණය ඔහු වෙතම භාර කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම, එංගලන්ත සංචාරය අතරතුර රෝහිත් BCCI නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා කර ඇති අතර, එහිදී ඔහු සතුටුදායක තත්ත්වයක නොසිටි බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, විරාත් කෝලිගේ වත්මන් දක්ෂතා සහ ශාරීරික යෝග්‍යතාවය හේතුවෙන් ඔහු එක්දින කණ්ඩායමේ ස්ථිර තේරීමක් ලෙස සලකන නමුත්, රෝහිත් සම්බන්ධයෙන් එවැනි තීරණයක් නොමැති බව සඳහන් වේ.
රෝහිත් තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටියහොත්, ජයිස්වාල්ට අවශ්‍ය තරග අත්දැකීම් ලබාදීම අපහසු වනු ඇති බවද වාර්තා වේ. මීට පෙර රෝහිත් ශර්මාගේ ටෙස්ට් ක්‍රිකට් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් ද තේරීම් කමිටුව සහ ඔහු අතර එකඟතාවයක් නොතිබූ බව සඳහන් වේ.