කිරි කැටියන්ට ආයේ ත්‍රිපෝෂ නෑ? - හේතුව මෙන්න
ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට රජය විසින් නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂ, ඇතැම් ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාල වෙත මාස කිහිපයකින් ලැබී නොමැති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් ඉල්ලුමට සරිලන ලෙස ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකි වීම නිසා දැඩි අපහසුතාවකට මුහුණ දී ඇති බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පවසති.
මෙම ගැටලුව සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා සඳහන් කළේ, ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු ප්‍රමාණවත් ලෙස නොලැබීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
2024 වර්ෂයේදී බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 4,800ක් ආනයනය කිරීමට ඉල්ලුම් කළ ද ඒ සඳහා අවසර නොලැබුණු අතර, මෑතකදී එම ආනයනය සඳහා අවසර හිමිවූ බවද ඔහු පැවසීය.
කෙසේවෙතත්, ආනයනය කරන ලද බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබෙන තුරු සති තුනකට අධික කාලයක් රේගුවේ රඳවා තබා තිබූ බව වාර්තා වේ.
ඉල්ලුම් කළ මුළු ප්‍රමාණයෙන් මේ වනවිට සමාගම වෙත ලැබී ඇත්තේ මෙට්‍රික් ටොන් 300ක් පමණක් වන අතර, එය රටපුරා පවතින ඉල්ලුමට සරිලන ලෙස ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත් නොවන බව සභාපතිවරයා පැහැදිලි කළේය.
එමෙන්ම, මේ වනවිට බස්නාහිර පළාතේ සියලු ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාලවලටත්, රත්නපුර, කෑගල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාලවලටත් ලබාදිය හැකි ත්‍රිපෝෂ ප්‍රමාණය යොමු කර ඇති බවද සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, නිෂ්පාදනය කර ඇති ත්‍රිපෝෂ බෙදාහැරීමේදී ද ගැටලු මතුව ඇති අතර, ප්‍රවාහනය සඳහා ලොරි රථ ප්‍රමාණවත් ලෙස නොමැති වීම එයට ප්‍රධාන හේතුවක් බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.