අධික වැස්සෙන් ජලාශ කිහිපයක වාන් දොරටු ඇරේ - පහළ ප්රදේශවල ජනතාවට විශේෂ දැනුම්දීමක්
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ ප්රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ජලය මුදාහැරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව දැදුරු ඔය, රාජාංගණය, කුකුළේ ගඟ සහ කලාවැව යන ජලාශවලින් ජලය මුදාහරින අතර, එම ජලාශවලට පහළින් පිහිටි ගංගා හා ඔය ආශ්රිත ප්රදේශවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස බලධාරීන් දැනුම් දී ඇත.
දැදුරු ඔයෙන් තත්පරයට ඝන අඩි 10,400ක් මුදාහරියි
දැදුරු ඔය ජලාශයේ ජල මට්ටම පාලනය කිරීම සඳහා වාන් දොරටු අටක් අඩි දෙක බැගින් විවෘත කර තිබේ. ඒ හරහා දැදුරු ඔයට තත්පරයකට ඝන අඩි 10,400ක ජල ප්රමාණයක් මුදාහරින බව සඳහන් වේ.
ජලාශයේ පෝෂක ප්රදේශවලට ලැබෙන වර්ෂාපතනය සහ ජලාශයට එක්වන ජල ප්රමාණය අනුව ඉදිරියේදී විවෘත කර තබන වාන් දොරටු ප්රමාණය වෙනස් විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පහත්බිම් සහ ගංගා ද්රෝණි ආසන්නයේ ජීවත් වන ජනතාවට ඉදිරියේදී වෙන්න යන දේ - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුවත්කිරීමක්
රාජාංගණයෙන් කලා ඔයට ජලය මුදාහරියි
රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති අතර, මේ වන විට කලා ඔයට තත්පරයකට ඝන අඩි 3,800කට අධික ජල ප්රමාණයක් මුදාහරිමින් පවතී.
එම ජලය මුදාහැරීම පෙරවරු 9.00 වන විට තත්පරයකට ඝන අඩි 8,000ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කර තිබේ.
කෙසේ වෙතත්, පවතින වර්ෂාපතනය සහ ජලාශයට ලැබෙන ජල ප්රමාණය අනුව එම තත්ත්වය වෙනස් විය හැකි බව සඳහන් වේ.
කුකුළේ ගඟෙන් තත්පරයට ඝන මීටර් 93ක් පිට කරයි
පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් කුකුළේ ගඟ ජලාශයේ ද එක් වාන් දොරටුවක් විවෘත කර තිබේ.
ඒ හරහා තත්පරයකට ඝන මීටර් 45ක ජල ප්රමාණයක් මුදාහරින අතර, විදුලි උත්පාදන කටයුතුවලදී තත්පරයකට ඝන මීටර් 48ක ජල ප්රමාණයක් ද පිට කරනු ලබයි.
ඒ අනුව ජලාශයෙන් කුඩා ගඟට මුදාහැරෙන සමස්ත ජල ප්රමාණය තත්පරයකට ඝන මීටර් 93ක් බව ජලාශය භාර ඉංජිනේරුවෝ සඳහන් කරති.
සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට
කලාවැවේ ජල මට්ටමත් ඉහළට
අධික වර්ෂාව හේතුවෙන් කලාවැවේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබේ.
ඉහළ පෝෂක ප්රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමඟ දඹුලු ඔය හරහා කලාවැවට තත්පරයකට ඝන අඩි 5,500කට ආසන්න ජල ප්රමාණයක් ලැබෙමින් පවතී.
ඒ අනුව කලාවැවේ ජල ධාරිතාව අක්කර අඩි 83,782ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
කලාවැව වාන් දැමීමේ අවදානම සැලකිල්ලට ගනිමින් එහි හදිසි වාන් දොරටු දෙක අඟල් හය බැගින් විවෘත කර තිබේ.
ඒ හරහා කලා ඔයට තත්පරයකට ඝන අඩි 511ක ජල ප්රමාණයක් මුදාහරින බව වාර්තා වේ.
පහළ ප්රදේශවල ජනතාවට දැනුම්දීමක්
මෙම තත්ත්වය හමුවේ දැදුරු ඔය ජලාශයට පහළින් එම ඔය ආශ්රිතව පදිංචි ජනතාවටත්, රාජාංගණය ජලාශයට පහළින් කලා ඔය ආශ්රිත ප්රදේශවල පදිංචි ජනතාවටත් විශේෂ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.
එමෙන්ම, අදාළ ගංගා හා ඔය ආශ්රිත ප්රදේශවල ජල මට්ටම්වල සිදුවන වෙනස්වීම් පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසත්, වාන් දොරටු විවෘත කිරීම හා ජලය මුදාහැරීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිල නිවේදන අනුව කටයුතු කරන ලෙසත් ජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.