සූර්ය බල ශක්ති ගාස්තු අඩු කෙරුවට නඩු
සූර්ය විදුලි බල උත්පාදකයින්ට එම ක්ෂේත්‍රය ආශ්‍රිතව ගැටලු සහගත තත්ත්වයක් උදාවී ඇත.ඒ අනුව එම විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවනු ලැබූ ගාස්තු අඩු කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සූර්ය විදුලි බල උත්පාදකයින් 17 දෙනකු විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාදීකරණය අද (25) නියෝග කළේය.
මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය. එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝහර ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස නියෝග කළේය. පෙත්සම්කරුවන් කියා සිටින්නේ වහලවල් මත සවිකර තිබෙන සූර්ය බල උත්පාදන කෝෂ හරහා නිෂ්පාදනය කරනු ලබන විදුලිය මිලදී ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය මෙන්ම ලේකෝ ආයතනය විසින් ගෙවනු ලබන ගාස්තු ඉකුත් ජූලි මස 01 වනදා සිට අත්තනෝමතික ලෙස අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.
විදුලි බල පනතට අනුව මෙවැනි මිල අඩු කිරීමක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබාගත යුතු බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එහෙත් මෙම අඩු කිරීම සඳහා එම කොමිසමේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් චෝදනා කරති. එමෙන්ම අදාල ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම මගින් දැනුම් දීමක් කර තිබුණත් එය ක්‍රියාත්මක වී නොමැති බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
