‘රටම එකට’ මෙහෙයුමෙන් මාස 4කදී මත්ද්‍රව්‍ය කිලෝ 10,000ක් අල්ලයි
‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කළ 2025 වසරේ ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කළ වැටලීම්වලින් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 10,000කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 125,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝ 931කට වැඩි ප්‍රමාණයක්, අයිස් කිලෝ 1927කට වැඩි ප්‍රමාණයක් ඇතැයි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරයි. ගංජා කිලෝ 4437කට වැඩි ප්‍රමාණයක් ද, කොකොන් කිලෝ 15කට වැඩි ප්‍රමාණයක් ද, කුෂ් කිලෝ 250කට වැඩි ප්‍රමාණයක් ද, හෂීෂ් කිලෝ 185කට වැඩි ප්‍රමාණයක් ද, මදනමෝදක කිලෝ 262කට වැඩි ප්‍රමාණයක් ද, මාවා කිලෝ 210කට වැඩි ප්‍රමාණයක් ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන තිබේ.
මෙයට අමතරව ගංජා පැළ ලක්ෂ 67කට වැඩි ප්‍රමාණයක් ද ගංජා සුරුට්ටු 489ක් ද මත්කරල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 188 දෙනෙක් සම්බන්ධයෙන් වත්කම් විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි. මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර මත්කුඩු ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සිටින්නේ 1000ක් පමණ වූ පිරිසකි. මත්ද්‍රව්‍ය විකිණීම හා ප්‍රවාහනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 3350ක් පමණ වේ. සෙසු පිරිස මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.