සංගීත පුරාවෘත්තයක් රිදී තිරයට - සුබ්බුලක්ෂ්මිගේ චරිතයට අවසානයේ රශ්මිකා තෝරාගනී
ප්‍රකට කර්ණාටක සංගීත ගායිකාවක වූ එම්.එස්. සුබ්බුලක්ෂ්මිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රශ්මිකා මන්දන්නා තෝරාගෙන ඇති බවට වාර්තා පළ වී තිබේ.
සුබ්බුලක්ෂ්මිගේ ජීවිතය ඇසුරින් චරිතාපදාන චිත්‍රපටයක් නිර්මාණය කිරීම පිළිබඳව කාලයක් තිස්සේ කතාබහ පැවති නමුත්, ඇයගේ චරිතය නිරූපණය කරන්නේ කවුරුන්ද යන්න මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොතිබිණි.
කෙසේ වෙතත්, Gulte වාර්තාවකට අනුව මෙම චරිතය සඳහා මීට පෙර සයි පල්ලවි සහ රුක්මණී වසන්ත ඇතුළු නිළියන් කිහිපදෙනෙකු සලකා බලා තිබේ. අවසානයේ එම චරිතය සඳහා රශ්මිකා මන්දන්නා තෝරාගෙන ඇති බව සඳහන් වේ.
එමෙන්ම චිත්‍රපට නිෂ්පාදකයන් විසින් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් සැප්තැම්බර් 16 වැනිදා, එනම් එම්.එස්. සුබ්බුලක්ෂ්මිගේ උපන්දිනය යෙදෙන දිනයේදී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
අභියෝගාත්මක චරිතයක් එම්.එස්. සුබ්බුලක්ෂ්මි වැනි සංගීත ලෝකයේ පුරාවෘත්ත චරිතයක් නිරූපණය කිරීම රශ්මිකාට විශාල අභියෝගයක් වනු ඇතැයි සැලකේ.
ඇයගේ පෞරුෂය, සන්සුන් ස්වභාවය සහ වේදිකා පෞරුෂය තිරය මත විශ්වාසනීය ලෙස ඉදිරිපත් කිරීමට රශ්මිකාට සිදුවනු ඇත. එමෙන්ම සුබ්බුලක්ෂ්මිගේ ජීවිතය සහ ඇයගේ ප්‍රතිරූපය ප්‍රේක්ෂකයන්ට නිවැරදිව ගෙන ඒමද මෙම චිත්‍රපටයේ ප්‍රධාන අභියෝගයක් වනු ඇත.
මේ හේතුවෙන් මෙම චරිතය රශ්මිකා මන්දන්නාගේ රංගන දිවියේ වඩාත්ම වැදගත් චරිතයක් බවට පත්විය හැකි බවටද අදහස් පළ වේ. මෙතෙක් නමක් තීරණය කර නොමැති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ගෞතම් තින්නනුරි විසිනි.
චිත්‍රපටයේ කතා වස්තුව සහ සංගීතය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් අනාවරණය කර නොමැත. රශ්මිකා මන්දන්නා අවසන් වරට Cocktail 2 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකින් දැකගත හැකි වූ අතර, ඉදිරියේදී ඇයගේ සැමියා වන විජේ දේවරකොණ්ඩා සමඟ Ranabaali නමැති යුගකාලීන චිත්‍රපටයකද රංගනයෙන් එක්වීමට නියමිතය. එමෙන්ම ඇය ඉදිරියේදී Mysaa නමැති ක්‍රියාදාම චිත්‍රපටයෙන්ද දැකගත හැකි වනු ඇත.
දකුණු ඉන්දීය සිනමාවේ කාන්තා ප්‍රධාන චරිත ගැන අලුත්ම කතාව - ''‘Alpha කාන්තාවක් විය යුතුම නැහැ සිනමාව ජයගන්න''