රංග නිශාන්තගේ මරණයට සැබෑ හේතුව අධිකරණයට දන්වයි
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් ඒකකයේ සේවයේ නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්ත මහතාගේ මරණය, ඔහු තමන් විසින්ම සිදුකරගත් කැපුම් තුවාල හේතුවෙන් සිදුවූවක් බව සිව් පුද්ගල වෛද්‍ය කමිටුව ඒකමතිකව තීන්දු කර ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරී කමිටුවේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා පැවසීය.
කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය නඩු වාරයේදී මරණකරුගේ බිරිඳ සහ දියණිය ඇතුළු පිරිසකගේ සාක්ෂි විභාගය පැවැත්වුණු අතර අද දිනයේදී අධිකරණ වෛද්‍ය නිලධාරී ඉලංගරත්න බණ්ඩා මහතා, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතා සහ නිල සුනඛයා මෙහෙයවූ සැරයන්වරයා ඇතුළු විමර්ශකයන්ගෙන් සාක්ෂි ලබා ගැනීම සිදු කෙරුණි.
සාක්ෂි විභාගය මෙහෙයවූ වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා, මරණකරුගේ ශරීරයේ තිබූ කැපුම් තුවාල සහ බල නහර පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූල පසුබිම මෙහිදී විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබාදුන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා කියා සිටියේ, බල නහර ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙන ශරීරාංගයක් නොමැති බවත්, ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය මහාචාර්යවරුන් සමඟ ද සාකච්ඡා කළ බවත්ය.
මෘත දේහය ඉතා සියුම් ආකාරයෙන් විච්ඡේදනය කරමින් පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනාම මෙය තමන් විසින්ම කපා ගැනීමෙන් සිදුවූ තුවාල බවත්, ඉන් අධික ලෙස රුධිරය වහනය වීමේදී ඇතිවූ කම්පනය හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවත් තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
සාක්ෂි විභාගය අතරතුරදී නඩු භාණ්ඩ ලෙස පෙන්වා දුන් මරණකරුගේ ඇඳුම්, සෙරෙප්පු සහ පිහිය ද වෛද්‍යවරයා විසින් නිවැරදිව හඳුනාගත් අතර, තුවාල වූ ස්ථානවල ඡායාරූප ද අධිකරණ භාරයට පත් කරනු ලැබීය.