විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් තවත් විරෝධයක් - නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයෙනුත් පූර්ණ සහයෝගය
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගෙන ඇති ස්ථාවරයට සහ ඒ වෙනුවෙන් ගනු ලබන නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයට සිය පූර්ණ සහයෝගය පළකරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
ඒ අනුව එම සංගමය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති අතර එමඟින් පෙන්වා දෙන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය, බලතල වෙන් කිරීමේ මූලධර්මය සහ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම එක් වෘත්තීය කණ්ඩායමකට පමණක් සීමා වූ වගකීමක් නොව සමස්ත පුරවැසි සමාජයේම වගකීමක් වන බවයි.
එහිදී විශේෂයෙන්ම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය හෝ විශ්‍රාම වයස වෙනස් කිරීම වැනි කරුණු සාමාන්‍ය පරිපාලනමය සංශෝධනයක් වශයෙන් සැලකිය නොහැකි බවත්, එවැනි වෙනස්කම් සිදුකිරීමේ ක්‍රමවේදය සහ කාලය මඟින් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි ඇති මහජන විශ්වාසයට බලපෑමක් විය හැකි බවත් එම සංගමය පෙන්වා දෙයි.
චක්‍රලේඛය නිසා සියල්ල නවතී.. මගීන් බිය කරමින් දුම්රිය ධාවනය, මෙහෙයුම් හා පාලන කටයුතු රැසක්ම ඇනහිටින බවට රතු එළි
එසේම අධිකරණ පද්ධතියේ ප්‍රමාදයන් හෝ කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීමේදී, අධිකරණයේ ආයතනික ස්වාධීනත්වය හෝ මහජන විශ්වාසය දුර්වල නොවන ලෙස අදාළ ක්‍රියාමාර්ග ගතයුතු බව දුම්රිය ස්ථානාධිපති සංගමය අවධාරණය කරයි.
ඊට අමතරව මෙය නීතිඥ ක්ෂේත්‍රයට පමණක් අදාළ කරුණක් නොව සමස්ත ජනතාවගේම අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බැවින්, ස්වාධීන අධිකරණයක් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් නීතිඥ සංගමය ගෙන යන වැඩපිළිවෙලට ඉදිරියටත් සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සහ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකරගේ අත්සනින් යුතුව යොමුකළ අඳාළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
