QR ක්‍රමය හරහා තේ පොහොර බෙදා හැරීමේ මාස 6ක ප්‍රගතිය 2024/2025 වසර අභිබවා යයි
QR ක්‍රමවේදය ඔස්සේ සහනාධාර තේ පොහොර ලබා දීම පසුගිය ඔක්තෝබර් මස පළමුවනදා සිට මේ දක්වා මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ විශිෂ්ට ප්‍රගතියක් අත්කරගෙන ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නව මාවතකට යොමු කරමින් 2030 වසර වන විට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වාත්, අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙම නව QR ක්‍රමවේදය හඳුන්වා දී තිබුණි.
අමාත්‍යාංශය පැවසුවේ පැවැති ක්‍රමවේදය යටතේ තේ වගා ඉඩම් ප්‍රමාණය මත පමණක් පොහොර ප්‍රමාණය තීරණය කිරීම සහ පොහොර සංස්ථාව මගින් පමණක් පොහොර ලබා දීම වැනි බාධා පැවතුණු බවත් එම බාධා සඳහා විසඳුම් ලෙස නව ක්‍රමවේදයේදී මාස තුනක සාමාන්‍ය දළු අස්වැන්න පදනම් කරගෙන සහනාධාරය නියම කිරීම ක්‍රියාත්මක කළ බවත්ය.
තවද පොහොර සංස්ථාවට පමණක් සීමා වූ බෙදාහැරීමේ ක්‍රමය වෙනුවට අනුමත පොහොර සමාගම් හරහාද පොහොර ලබාදීමට පහසුකම් සලසා වඩාත් විධිමත් හා කඩිනම් සේවාවක් කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් වෙත ලබාදීමට වැවිළි හා ප්‍රජා පහසුකම් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම පොහොර ලබාදීමේ ක්‍රමවේදය හරහා මාර්තු 31 වන විට ප්‍රාදේශීය කාර්යාල මගින් ලියාපදිංචි වී QR කේතය ලැබී ඇති ගොවීම් ප්‍රමාණය 226,511ක් වන බවත් අදාළ දිනට ඒ අතරින් කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවීන් 187,759 දෙනෙකු සඳහා සහනාධාර තේ පොහොර මෙට්‍රික් ටොන් 21,117.7ක් ලබා දී ඇත.
රජය විසින් කිලෝ ග්‍රෑම් 50 පොහොර මිටියක් සඳහා රුපියල් 4,000ක සහ කිලෝග්‍රෑම් 25 පොහොර මිටියක් සඳහා රුපියල් 2,000ක මූල්‍ය සහනාධාරයක් මෙම QR ක්‍රමවේදය මගින් ගොවීන් වෙත ලබා දෙන අතර ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 50 මිටි 334,256ක් සහ කිලෝග්‍රෑම් 25 මිටි 176,199ක් ගොවීන් අතට පත් කර ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
අමාත්‍යාංශය පැවසුවේ 2024/2025 සම්පූර්ණ වර්ෂයේදීම සහනාධාර පොහොර ලබාගෙන ඇත්තේ ගොවීන් 84, 472ක් පමණක් වුවද නව ක්‍රමවේදය යටතේ මාස 06ක් තුළ ගොවීන් 187,759 දෙනෙකු සඳහා පොහොර ලබා දී ඇති බවය. ඒ අනුව මෙය පෙර වසරට සාපේක්ෂව 122.3%ක දැවැන්ත වර්ධනයක් බවද පෙන්වා දෙන අමාත්‍යාංශය සඳහන් කරනුයේ 2024/2025 වර්ෂයේදී නිකුත් කර තිබූ මළු පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 13,015.50ක් වුවද නව QR ක්‍රමවේදය යටතේ මාර්තු මස අවසන් වන විට මෙට්‍රික් ටොන් 21,117.7ක් බෙදා හැර අවසන් බවය.
ඒ අනුව පොහොර නිකුත් කිරීමේ ප්‍රගතිය 62.2%කින් ඉහළ ගොස් ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේය. මේ අතර වර්ථමානයේ පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂ පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පවතින සහනාධාරයට අමතරව මේ වසර තුළ එක් වතාවක් පමණක් ලබා දීම සඳහා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියකට රුපියල් 5,000ක අමතර සහනාධාරයක් භාණ්ඩාගාරය මගින් වෙන් කර ඇතැයිද නව රුපියල් 5,000ක සහනාධාරයද QR ක්‍රමවේදය යටතේම වසර අවසානයට පෙර කුඩා තේ වතු හිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇතැයිද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.