වහාම ක්‍රියාත්මක පරිදි මේ රාජ්‍ය සේවකයන් හෙට දිවයින පුරා වැඩ වර්ජනයක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය මහතාට අත්තනෝමතික ලෙස ලබාදී ඇති ස්ථානමාරුවට එරෙහිව හෙට (24) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කළද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් කිසිදු සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කර නොමැති බව එම සංගමය චෝදනා කරයි.
සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා සියලු මහජන සෞඛ්‍යdhiwayima පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරිපාලනය වෙත ලබාදෙන සියලු ආකාරයේ දත්ත සහ වාර්තා සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට නියමිතය.
එමෙන්ම සියලු ආකාරයේ දත්ත පද්ධති යථාවත් කිරීම් ද අත්හිටුවන අතර මෙම කාලසීමාව තුළ නොලැබී යන කිසිදු දත්තයක් නැවත කිසිදිනෙක පද්ධති වෙත ඇතුළත් නොකරන බව සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
බී.එච්. මිගස්දෙනිය මහතාගේ ස්ථානමාරුව වහාම අවලංගු කර ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, කොළඹ වරාය සහ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලවල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුමත සේවක සංඛ්‍යාව අඩු කිරීමට ගන්නා උත්සාහය වහා පරාජය කරන ලෙසත් සංගමයේ නිලධාරීහු ඉල්ලා සිටිති.
කෙසේවෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් යහපත් විසඳුමක් ලබාගැනීම සඳහා ඕනෑම අවස්ථාවක බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්වා සිටියි.