සලේ වෙනුවෙන් අද ඉඳන් විපක්ෂය කොළඹ කරන්න යන දේ - රටේම අවධානය
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් අද (08) දින පෙරවරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සූදානම්ව සිටියි.
ඒ "සලේ වෙනුවෙන් නැගී සිටිමු" (Standup for Sallay) යන තේමාව යටතේයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින්.
පසුව රැඳවුම් නියෝග මත ඔහුව එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියි. එවන් පසුබිමක ඉකුත් 06 වන දින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඔහුට CID නිලධාරීන් වධහිංසා සිදුකරන බැවින් ඔහු උපවාසයක් අරඹා ඇති බව හෙළි කළත් එම ප්‍රකාශය නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය ප්‍රතික්ෂේප කර තිබුණා.
සලේට අසාධ්‍යයි - අත් දෙකටම සේලයින් ගහලා.. ළං වෙන්න දුන්නේ නෑ එයා කැමතියි ඇස් දන් දෙන්න - බිරිඳ කියයි
එවැනි පසුබිමක සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය ඊයේ දින පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ද යොමුකරමින් තම ස්වාමි පුරුෂයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී සිදුව ඇති බව පැවසෙන කෘෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම් ඇතුළු කරුණු පිළිබඳ වහාම ස්වාධීන අපරාධ පරීක්ෂණයක් අරඹන ලෙස ඉල්ලා සිටියා.
මේ අතර තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) දින හෙළි කර තිබුණා.
එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිපියක් යොමුකරමින් සලේ මහතාගේ නීතිඥවරයා සඳහන් කර තිබුණේ සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන සැකසීමට සිය නීතිඥයින්ට කඩිනමින් තමන් හමුවීමට පැමිණෙන මෙන් සලේ මහතා දැනුම් දී ඇති බවත් ය.
එනිසා ඔහුව පහසුකම් සහිත රෝහලකට යොමුකරන ලෙසත්, ස්වාධීන වෛද්‍ය කණ්ඩායමක් මඟින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විනිශ්චය කරන ලෙසත් එහිදී වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්.