දීපචෙල්වන්ගේ පොත් ප්‍රශ්නේ උඩු දුවයි - උණුසුම මැද ලොක්කියක් ඉල්ලා අස්වෙයි
ප්‍රකට දෙමළ කවියකු සහ නවකතාකරුවකු වන දීපචෙල්වන් ප්‍රදීපන් මහතා රචනා කළ කෘති මෙරටට ආනයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවාගැනීමේ සිද්ධිය පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇති බව වාර්තා වේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා සහ රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී පැන නැගී ඇති ගැටලුව වහාම විසඳා ගැනීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ තිබෙන බව සඳහන්.
එමෙන්ම රඳවාගෙන ඇති ග්රන්ථ සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය නිසා ඒ පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට අදාළ කෘති පහේ පිටපත් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව ද වාර්තා වේ.
එම කෘති භාරයට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නොව, ශ්‍රී ලංකා රේගු පනත යටතේ බව අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ඉකුත් මාර්තු 18 වැනිදා දීපචෙල්වන් ප්‍රදීපන් මහතාගේ කෘති පහකට අයත් පිටපත් 360 ක් රේගු භාරයට ගෙන තිබුණා. එසේම ඒ සම්බන්ධයෙන් මාර්තු 27 වැනිදා ලේඛකයාට දැනුම් දී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය මැදිහත් වී අඳාළ ගැටලුව විසඳීමට කටයුතු කරමින් සිටින අතර මෙම කෘති රේගු භාරයට ගැනීමත් සමඟ ඇති වූ විවාදාත්මක තත්ත්වය නිසා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකාවක් වශයෙන් කටයුතු කළ ප්‍රවීණ ලේඛිකා මාලති කල්පනා ඇම්බ්‍රෝස් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ද ආරංචි වේ.