බන්ධනාගාර කොමසාරිස් මල්වතු හා අස්ගිරි හිමිවරුන් බැහැදකී - විශේෂ හමුවක්
බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අද (16) අස්ගිරි සහ මල්වතු මහා විහාර පාර්ශ්වයන්හි මහානාහිමිවරුන් බැහැදැක තිබේ.
එහිදී සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමේ හැකියාව පිළිබඳව අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමියන් විමසා ඇති අතර, භික්ෂූන් වහන්සේ රඳවා තැබීම සඳහා වෙනම ස්ථානයක් ස්ථාපිත කිරීමේ අවශ්යතාව මල්වතු මහනාහිමියන් පෙන්වා දී ඇත.
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සඳහා ක්රමවේදයක් පවතින්නේදැයි බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසා තිබේ.
ඊට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවය.
අනතුරුව බන්ධනාගාර නිලධාරීන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ද බැහැදැක තිබේ.
එහිදී අදහස් දැක්වූ මල්වතු මහනාහිමියන් සඳහන් කර ඇත්තේ යම් චෝදනාවක් මත භික්ෂූන් වහන්සේ රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ නම් හෝ සිරගත කරන්නේ නම්, ඒ සඳහා වෙනම ස්ථානයක් ස්ථාපිත කළ යුතු බවය.
මේ සම්බන්ධයෙන් මීට පෙර සාකච්ඡාවක් පැවැති නමුත් එය තීරණයකින් තොරව අවසන් වූ බව ද උන්වහන්සේ පෙන්වා දී තිබේ.
භික්ෂූන් වහන්සේ රඳවා තැබීම සඳහා වෙනම ස්ථානයක් සකස් කර, එහිදී උන්වහන්සේලාට ආගමික කටයුතු සිදුකිරීමේ නිදහස ලබාදිය යුතු බවත්, උන්වහන්සේලාට යහපත් ආකාරයෙන් සැලකිය යුතු බවත් මල්වතු මහනාහිමියෝ වැඩිදුරටත් අවධාරණය කර ඇත.