ශ්‍රී ලාංකිකයින්ගේ ජපන් වාහන හීනයට තටු ලැබෙයි
ජපානයෙන් ආනයනය කරන ලද වාහන 400කට ආසන්න ප්‍රමාණයක් රේගුවේ සිරවී තිබුණු තත්ත්වය විසඳීම සඳහා, එම වාහන මෙරටට එවීමට අපනයන පරීක්ෂණ සහතික ලබාගත් Bureau Veritas කාර්යාංශයට ඒ සඳහා අවසර ලබාදෙමින් සහ වාහන නිදහස් කිරීමට පවතින අනෙකුත් බාධක ඉවත් කරමින්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉතා ඉක්මනින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ආරංචි මාර්ග හෙළි කරයි.
මේ පිළිබඳව ප්‍රධාන පුවත්පතක් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ;
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට අවශ්‍ය පසුබිම සකසමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත්, එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.
එම ගැසට් පත්‍රය නිකුත් වුවහොත්, රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමේ කටයුතු ආරම්භ කළ හැකි බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ජපානයෙන් ආනයනය කළ වාහන මෙරටට ගෙන්වීමට බාධාවක් වූයේ එම වාහනවල අපනයන පරීක්ෂණ සහතික ලබාගත් සමාගම සම්බන්ධ ගැටලුවක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි. ගැසට් පත්‍රය නිකුත් වීමත් සමඟ මෙම ගැටලුව විසඳෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ජපානයෙන් ආනයනය කළ වාහන සම්බන්ධ අර්බුදය අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අරුක්ගොඩ මහතා සඳහන් කර ඇත.
පළමු නැව පැමිණි දින සිට දවස් 20කට වඩා ගතවී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
සිරවී ඇති වාහන වෙළඳපොළට පැමිණීමෙන් වාහන මිල අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන අතර, ඒවා තවදුරටත් රේගුවේ රඳවා තැබුවහොත් මිල ඉහළ යා හැකි බව වාහන අපනයනකරුවෝ අවධාරණය කරති.
එම නිසා, වාහන නිදහස් කිරීමට ඇති බාධක ඉවත් කරමින් හැකි ඉක්මනින් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමේ අවශ්‍යතාව ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.
ඒ අනුව, වාහන ආනයනය සරල කිරීම සහ එය වඩාත් නිසි පිළිවෙළකට යොමු කිරීම සඳහා, දැනට පවතින ආනයන හා අපනයන රෙගුලාසිවල සංශෝධන සිදු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
