හමුදා තුනේ පර්යේෂණ මධ්‍යස්ථාන ඒකාබද්ධ කිරීමට ජනපතිගෙන් විශේෂ උපදෙසක්
ආරක්ෂක අංශවල පර්යේෂණ මධ්‍යස්ථාන ඒකාබද්ධ කිරීමට ජනපතිගෙන් උපදෙස් යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව යටතේ දැනට ක්‍රියාත්මක වන සියලුම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කර එක් ජාතික පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී තිබේ.
එම මධ්‍යස්ථාන ඒකාබද්ධ කිරීම තුළින් පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවා ගනිමින් අපේක්ෂිත අරමුණු වඩාත් සාර්ථකව ළඟා කරගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි.
ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ වර්තමානයේ පවතින ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණදීම සඳහා ආරක්ෂක අංශ නවීන තාක්ෂණය සමඟ වේගයෙන් ඒකාබද්ධ වීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
එමෙන්ම, ආරක්ෂක කටයුතු සඳහා නවීන තාක්ෂණික උපකරණ සහ තාක්ෂණික ක්‍රමවේද වැඩි වශයෙන් යොදා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද අවධානය යොමු කර ඇත.
ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම සහ නව දැනුම හා තාක්ෂණික දැනුම ලබාදීම සඳහා විදේශීය පුහුණු අවස්ථා වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.
මේ අතර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ මෙහෙයුම් කටයුතු පිළිබඳවද සාකච්ඡාවට ලක්ව ඇති අතර, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු කර ඇත.
තවද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතව සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වය තවදුරටත් දිරිගැන්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය නව තාක්ෂණික දැනුම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් ආරක්ෂක අංශ නවීකරණය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇත.