ජනාධිපතිගෙන් තීරණාත්මක පියවරක් - නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කරයි
By Malith Madushan
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව, යාපනය දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන පෙරුමාල් සිවකුමාර් මහතා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස සේවය කරන ආනන්දි කනගරත්නම් මෙනෙවිය සහ කොළඹ දිසා විනිසුරු ලෙස සේවය කරන ඤාණේස ලලිත් කන්නන්ගර මහතා මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.
අදාළ පත්වීම් ලිපි අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව විනිසුරුවරුන් වෙත භාරදී ඇත.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද සහභාගී වී තිබේ. නව විනිසුරුවරුන් තිදෙනාගේ පත්වීම් සමඟ මහාධිකරණයේ විනිසුරු මණ්ඩලයට තවත් සාමාජිකයින් තිදෙනෙකු එක්වීම සිදුවේ.