ජනාධිපතිගෙන් තද තීන්දුවක් – නුවරඑළියේ ප්‍රා.ලේකම් කාර්යාලවල හොරු අල්ලන්න විගණන කමිටුවක් පත් කරයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුව ඇති බවට වාර්තා වන මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ විගණන කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කළේ 2023 සිට 2026 දක්වා කාලයට අදාළව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක් මෙම විගණනයට ලක් කිරීමට නියමිත බවයි.
විශේෂයෙන් නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ මුදල් වංචා සිදුවී ඇත්ද යන්න පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට නියමිතය.
මීට අමතරව, දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා ලබාදුන් ආපදා සහන මුදල්, කොවිඩ්-19 වසංගත සමයේ අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධි වැඩසටහන යටතේ ලබාදුන් රුපියල් 5,000 දීමනාව මෙන්ම සමෘද්ධි සහනාධාර හා වැඩිහිටි දීමනා නිසි පරිදි ප්‍රතිලාභීන් වෙත ලබාදී තිබේද යන්නද විගණනයේදී පරීක්ෂා කිරීමට නියමිතව ඇත.
විගණන කටයුතු ආරම්භ කිරීමට පෙර මේ සම්බන්ධයෙන් තමන් සතුව තොරතුරු හෝ සාක්ෂි ඇත්නම් ඒවා ලබාදෙන ලෙස මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.