තැපැල් සේවකයන් බොරුවට OT දාලා හැත්තෑ ලක්ෂයක් අරන්
කොළඹ තැපැල් මූලස්ථානයේ සේවකයන් පිරිසක් 2024 වසරේදී රුපියල් හැත්තෑ ලක්ෂයකට අධික (රුපියල් 7,024,144ක) අතිකාල මුදලක් ව්‍යාජ ලෙස ලබාගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ 2024 කාර්යසාධන වාර්තාවේ විගණකාධිපති නිරීක්ෂණයේ සඳහන් වේ. තැපැල් මූලස්ථානයේ ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවිකර තිබුණ ද එහි පැමිණීමේ හා පිටවීමේ වේලාවන් සලකා බැලීමකින් තොරව මෙම මුදල් ලබාගෙන ඇතැයි එහි දැක්වේ.
තැපැල් මූලස්ථානයෙන් පස්වරු 4:14ට පිටත්වන සේවකයන් රාත්‍රී 7,8,9 හා 10 යන වේලාවල්වල රාජකාරි සිදුකළ බවට ව්‍යාජ ලෙස දක්වා මෙම මුදල් ලබාගෙන ඇතැයි විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණවල සඳහන් වේ. ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වේලා සලකා නොබලා ගෙවීම් කළ නිසා ඒවායේ නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට ද නොහැකි බව එහි සඳහන්වේ.
මේ අතර, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ 2023 ජනවාරි සිට 2024 මැයි 31 වන දා දක්වා සේවකයන් 28,403කට අතිකාල ගෙවා ඇත්තේ ඇඟිලි සලකුණු යන්ත්‍රයක පරීක්ෂාවකින් තොරව යැයි ද එහි වටිනාකම රුපියල් කෝටි 65කට අධික යැයි ද එහි සඳහන් වේ. තව ද, ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවිකර නොතිබියදී පාලක (විමර්ශන) කාර්යාලයේ 2020 ජනවාරි 1 සිට 2024 මැයි 31 දක්වා සේවකයන් 7 දෙනෙකුට ගෙවූ අතිකාල මුදල රුපියල් ලක්ෂ 40කට අධික යැයි ද කියයි.
ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වේලාවන් සලකා බැලීමකින් තොරව දිසා ගිණුම් කාර්යාල 14ක් 2024 ජනවාරි සිට ජුනි දක්වා රුපියල් කෝටි 37කට අධික මුදලක් ගෙවා ඇති නමුත් ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට ද නොහැකි යැයි කාර්යසාධන වාර්තාවේ විගණකාධිපති නිරීක්ෂණයේ වැඩිදුරටත් සඳහන් වේ.