හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුව ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත, කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව, අද (16) උදෑසන පිළියන්දල පොලිස් වසමේ මාම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී අවි ආයුධ විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසයි. ඒ අතර ජීව අත්බෝම්බයක්, T-56 වර්ගයේ මැගසින් දෙකක්, T-56 ජීව පතරොම් 221ක්, .22 වර්ගයේ පතරොම් 103ක්, 84S වර්ගයේ ජීව පතරොම් 31ක් සහ බෝර 12 වර්ගයේ ගිනි අවියක් ද ඇතුළත් වේ.
අදාළ ගිනි අවිය හිටපු මන්ත්‍රීවරයාට අයත් වගා ඉඩමක් සඳහා නිකුත් කර තිබූ එකක් බවද සඳහන් වේ.
සැකකරු අද දිනයේ කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.