චන්දන කත්‍රිආරච්චිගේ නිවසෙන් අවි ආයුධ සොයාගැනීම ගැන තවත් තොරතුරු අනාවරණය වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා සතුව අවි ආයුධ ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව අද (16) ඔහුගේ නිවස පරීක්ෂා කරන ලදි.
එහිදී T56 උණ්ඩ 221ක්, T56 මැගසින් 2ක්, 7.2 උණ්ඩ 31ක්, 0.2 උණ්ඩ 103ක් සහ ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබී තිබේ මෙම ජීව අත්බෝම්බය චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත එකක් බවද අනාවරණය වී තිබේ.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් චන්දන කත්‍රිආරච්චි මහතාගේ නිවසේ තවදුරටත් සෝදිසි කිරීම් සිදුකර ඇති අතර එහිදී ලියාපදිංචි ගිනිඅවි 4ක් ද සොයාගැනීමට හැකිවී තිබේ.
ඉන් එක් ගිනිඅවියක් චන්දන කත්‍රිආරච්චි මහතාගේ නමට ලියාපදිංචි කර තිබෙන අතර අනෙක් ගිනිඅවි 3 චන්දන කත්‍රිආරච්චි මහතාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබූ බව හෙළිදරවි වී තිබේ.
මෙලෙස සොයාගෙන ඇත්තේ ෂොට්ගන් වර්ගයේ ගිනිඅවි 2ක් සහ 9mm වර්ගයේ ගිනිඅවි 2කි.
තවද චන්දන කත්‍රිආරච්චි මහතා සතුව මෙතරම් ගිනිඅවි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමට හේතුව අනාවරණය කරගැනීම සඳහා වෙනම විමර්ශනයක් ආරම්භ කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ මෙම සිදුවීම පිළිබද තව දුරටත් විමර්ශන සිදුකරයි.