සියලු ආයෝජන පූර්ණ වගවීමෙන් හා නිසි නියාමනයෙන් යුතුව ක්‍රියාත්මක විය යුතුයි - අගමැතිනිය අවධාරණය කරයි

Report

විශාල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන අත්‍යවශ්‍ය වන අතර, එවැනි සියලු ආයෝජන සහ හවුල්කාරීත්වයන් පූර්ණ වගවීමකින් හා නිසි නියාමන ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කර තිබේ .

පසුගිය දා කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ දෙවැනි අදියර නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කර තිබේ.

ඇය පෙන්වා දුන්නේ රටට ආකර්ෂණය වන ආයෝජනවල ප්‍රමාණය පමණක් නොව, ඒවායේ ගුණාත්මකභාවය, තිරසාරභාවය සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික හා උපායමාර්ගික අභිලාෂයන් සමඟ ඇති ගැළපීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ යුතු බවයි .

රජයේ අපේක්ෂාව වන්නේ ශ්‍රී ලංකාව සතු නවීන වරාය පද්ධතිය, පුහුණු ශ්‍රම බලකාය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ඇති ප්‍රවේශය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් තිරසාර ආයෝජන ආකර්ෂණය කර ගැනීම, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ අපනයන වර්ධනය කිරීම බව එතුමිය සදහන් කර තිබේ.

බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ භාවිත වන ස්වයංක්‍රීය දොඹකර (Automated Cranes), විද්‍යුත් භාණ්ඩ ප්‍රවාහන රථ (Electric ITVs) සහ සජීවී නිරීක්ෂණ පද්ධති ඇතුළු නවීන ඩිජිටල් තාක්ෂණයන් පිළිබඳව ද අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු වූ අතර, එවැනි තාක්ෂණයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය තාක්ෂණික දැනුම සහ මානව කුසලතා තවදුරටත් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව අගමැතිවරිය ප්‍රකාශ කළාය.

ඇය ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය කලාපීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ පවත්වන ශක්තිමත් සබඳතා සමඟ බැඳී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, විශේෂයෙන්ම ඉන්දියාව සමඟ පවතින වෙළෙඳ හා ආයෝජන සබඳතා දෙරටේම අන්‍යෝන්‍ය අභිලාෂයන්ට සහ ස්වෛරීත්වයට ගරු කරමින් තවදුරටත් ශක්තිමත් කරගත හැකි බවයි.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, වරාය, නාවික හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වූහ.

ලෝක තෙල් මිල යළි ඉහළට යද්දි ලොවම සලිත වෙයි - ගෝලීය ඉන්ධන හිඟය තවත් උග්‍ර විය හැකි බවට රතු එළි

ලෝක තෙල් මිල යළි ඉහළට යද්දි ලොවම සලිත වෙයි - ගෝලීය ඉන්ධන හිඟය තවත් උග්‍ර විය හැකි බවට රතු එළි