පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් දරුවෙකු මරුට
කළුතර ගමගොඩපාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6ක පිරිමි දරුවකු මියගොස් ඇති බව වාර්තා වේ.
පෙරේදා (29) රාත්‍රී 10ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එල්ල කළ මෙම ප්‍රහාරයෙන් රූපවාහිනිය නරඹමින් සිටි එම දරුවා සහ නිවසේ සිටි වයස අවුරුදු 28ක් පමණ වන කාන්තාවක් තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා කඩිනමින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
බරපතළ තුවාල සහිතව සිටි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) සවස මියගොස් ඇත.
මියගිය දරුවාගේ මව විදේශගතව සිටින අතර, ඒ හේතුවෙන් දරුවාගේ පියා රැකියා කටයුතු නිමකර යළි පැමිණෙන තෙක් එම දරුවාව රැකබලාගන්නේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක එල්ල වූ නිවසේ සිටි කාන්තාව විසින් බව වාර්තා වේ.
තුවාල ලැබූ එම කාන්තාව ද මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. මෙම පහරදීමට සම්බන්ධ කිසිදු පුද්ගලයකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතර, පහරදීම කුමන හේතුවක් නිසා සිදුව ඇද්ද යන්න පිළිබඳව ද මේ වනතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
