සාමකාමී එකමුතුව අප රටේ සදාකාලික සම්පතයි - විපක්ෂ නායක කියයි
අන්‍යෝන්‍ය ගෞරවය, ආගමික සහජීවනය, සහ සාමකාමී එකමුතුව රටේ සදාකාලික සම්පත බව සිහිපත් කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර තිබේ.
රටක් ලෙස මුහුණ දෙන ආර්ථික, සමාජීය අභියෝග මධ්‍යයේ මහ ශිව රාත්‍රී දිනය අලුත් බලාපොරොත්තු රැසක් ගෙන එනු ලබන බව මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත.
විපක්ෂනායක වරයාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන්ව ඇත්තේ අඳුර පළවා හැර ආලෝකය උදා වන්නා සේ රටක් ලෙස මුහුණ දෙන අභියෝග මැදින් ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගත හැකි බව විශ්වාස කළ යුතු බවයි.
විපක්ෂ නායකවරයාගේ සම්පූර්ණ සුබ පැතුම් පණිවිඩය පහතින්,
''මහ ශිව රාත්‍රී දිනය නිමිති කර ගෙන ශ්‍රී ලංකාවේ හා ලෝකය පුරා වෙසෙන සියලු ම සහෝදර හින්දු බැතිමතුන්ට සුබ පැතුම් පණිවිඩයක් එක් කිරීමට ලැබීම සතුටට කරුණකි.
මහ ශිව රාත්‍රීය යනු අඳුර මැදින් ආලෝකය සොයා යන ආධ්‍යාත්මික ගමනකි. එය පූජාව, භක්තිය සහ සමාධිය තුළින් මනස පිරිසිදු කර ගනිමින් අයුක්තිය, අවිවේකය සහ අහංකාරය මැඩපැවැත්වීමට අපට මඟ පෙන්වන උතුම් රැයක් ලෙස හැඳින්විය හැකිය.
ශිව දෙවියන් නිරූපණය කරන්නේ විනාශය තුළින් නව්‍යතාව උදා කිරීමයි.
එබැවින් මහ ශිව රාත්‍රී දිනය අපට මතක් කර දෙන්නේ ජීවිතයේ අභියෝග හමුවේ පසුබට නොවී අලුත් ආරම්භයක් සඳහා ආත්ම විශ්වාසයෙන් යුතුව නැගී සිටිය යුතු බවයි. මහ ශිව රාත්‍රී දිනය සත්‍යය, සාධාරණත්වය සහ කරුණාව යන අගයන් අපගේ ජීවිතයේ මූලික පදනම බව මතක් කර දේ.
අයුක්තියට එරෙහිව සත්‍යය ජයගන්නා බවත්, අවිශ්වාසයට වඩා එකමුතුකම බලවත් බවත්, අඳුරට වඩා ආලෝකය ශක්තිමත් බවත් මෙම උතුම් දිනය අපට පසක් කර දෙයි. අප රට අද මුහුණ දෙන ආර්ථික, සමාජීය අභියෝග මධ්‍යයේ මහ ශිව රාත්‍රී දිනය අපට අලුත් බලාපොරොත්තු රැසක් ගෙන එනු ලබයි. අඳුර පළවා හැර ආලෝකය උදා වන්නා සේ අප ද රටක් ලෙස මුහුණ දෙන අභියෝග මැදින් ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගත හැකි බව විශ්වාස කළ යුතුය.
ඒ සඳහා කැපවිය යුතුය. අන්‍යෝන්‍ය ගෞරවය, ආගමික සහජීවනය, සහ සාමකාමී එකමුතුව අප රටේ සදාකාලික සම්පත බව මතක තබා ගනිමු. එබැවින් අපගේ හදවත්වල දැල්වෙන ආලෝකය රට පුරා විහිදී, සාමය, සමගිය සහ සෞභාග්‍යය පිරි ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මඟ පෑදේවා කියා මේ ශිව රාත්‍රී දිනය සමරන අද දින අප සැවොම ප්‍රාර්ථනා කරමු.''