කටුනායකදී කෝටි ගණනක රත්තරන් සමඟ ගුවන් මගියෙක් කොටු වෙයි
රුපියල් එක් කෝටි දහඅට ලක්ෂ අසූපන් දහස් පන්සිය දහහතරක් වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකපිට ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (08) සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව සඳහන් වේ.
විමර්ශනවලට අනුව, ඔහු ඊයේ පෙරවරු 6.30ට ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර, ගමන් මලු තුළ ග්‍රෑම් 271 මිලිග්‍රෑම් 480ක් බරැති කරමාළ 12ක්, අත් පළඳනා 10ක් සහ රන් බිස්කට් 2ක් සඟවා රැගෙනවිත් තිබී ඇත.
අද (09) නයිකන්ද රේගු නිවාරණ කාර්යාලයේදී පැවති රේගු පරීක්ෂාවෙන් අනතුරුව එම රත්තරන් තොගය රාජසන්තක කර ඇති අතර, සැකකරුට රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.