ඇමෙරිකන් ප්‍රහාරවලින් වෙනිසියුලාවේ 40කට අධික පිරිසක් මරුට
වෙනිසියුලාවට එල්ල කළ එක්සත් ජනපද හමුදා ප්‍රහාරවලින් හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් අවම වශයෙන් 40 දෙනකු මිය ගොස් ඇති බව වෙනිසියුලානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ප්‍රහාර ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ භාර්යාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ කොටසක් ලෙස සිදු කර ඇති බවත්, එමගින් රටේ ප්‍රධාන හමුදා කඳවුරු සහ ආරක්ෂක ස්ථාන කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල වූ බවත් වාර්තා වේ. මියගිය අය අතර ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනකු ද සිටින බවත්, තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 100කට අධික බවත් වෙනිසියුලානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියකු පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය යොමු වී ඇති අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) හදිසි රැස්වීමක් කැඳවා තිබේ. මෙම රැස්වීමේදී ඇමෙරිකන් හමුදා මෙහෙයුම ගැන සහ වෙනිසියුලාවේ අනාගතය ගැන සාකච්ඡා කිරීමට නියමිතය.
විශේෂයෙන්ම ජනාධිපති මධුරෝ සහ ඔහුගේ භාර්යාව ඇමෙරිකන් බලධාරීන්ගේ ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන මෙම රැස්වීමට රටවල් 15ක තානාපතිවරුන් සහභාගී වීමට නියමිතය.
එක්සත් ජනපදය මෙම මෙහෙයුම ආරම්භ කළේ වෙනිසියුලාවේ මත්ද්‍රව්‍ය ජාල සහ දූෂණයට එරෙහිව බව පවසන නමුත්, ජාත්‍යන්තර ප්‍රජාව මෙය රටක ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස දකියි. රුසියාව, චීනය සහ කියුබාව ඇතුළු රටවල් කිහිපයක් මෙම ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම ඉල්ලා තිබේ.
වෙනිසියුලානු ආරක්ෂක බලකායන් මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ජනතාවට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස උපදෙස් දී ඇති බවත් වාර්තා වේ. මෙම තත්ත්වය ලතින් ඇමෙරිකානු කලාපයේ ආතතිය වැඩි කිරීමට හේතු වී ඇති අතර, ඉදිරි දිනවල ජාත්‍යන්තර සංවාද වැඩි වීමේ හැකියාවක් තිබේ.