සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මිනිස් මෙහෙයුම සාර්ථකව සඳ මතට ළං වේ
නාසා ආයතනය විසින් ක්‍රියාත්මක කෙරූ ඓතිහාසික 'ARTEMIS - II' මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරියන් අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක් සාර්ථකව ගමන් කිරීමෙන් අනතුරුව මේ වන විට සඳ වෙත ළඟා වීමේ ගමන් මඟ ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.
ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පසුගිය බදාදා අමෙරිකානු වේලාවෙන් පස්වරු 18:24 ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා අලුයම 3:54 ට) ගුවන්ගත වූ මෙම යානය දින 4ක් ඇතුළත සඳට ළඟා වීමට නියමිත බව නාසා ආයතනය අද (3) පෙරවරුවේ නිවේදනය කළේය.
මෙම දින 10ක මෙහෙයුම සැලසුම් කළ පරිදි සිදුවුවහොත්, අප්‍රේල් 6 වනදා වන විට මිනිස් ඇසට කිසිදා නොපෙනෙන සඳෙහි අනෙක් පස (Far side of the Moon) වටා ගමන් කිරීමට ගඟනගාමීන්ට අවස්ථාව උදාවන අතර මෙය 1972 වසරෙන් පසු සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මිනිස් මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්වේ.
ඉදිරි වසරවලදී සඳ මත මිනිසෙකු ගොඩබැස්වීමේ අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම මෙම මෙහෙයුමේ මූලික අරමුණ වන අතර එය මෑත ඉතිහාසයේ අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේ සිදු කෙරෙන තීරණාත්මකම සන්ධිස්ථානයක් ලෙස සැලකේ.