ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පල්ලම් බසියි - මාර්තු මාසයෙන් පසු වාර්තා වූ අවම මට්ටමට ලගාවෙයි
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (24) බදාදා දිනයේදී තවදුරටත් පහළ ගොස් ඇති අතර, එයට ප්‍රධාන හේතුව ලෙස හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් ප්‍රවාහනය යළි සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබීම දැක්වේ.
වෙළෙඳපොළ දත්ත අනුව, Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.30 දක්වා පහළ ගොස් ඇති අතර, ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.43 දක්වා අඩුවී තිබේ.
මෙම මිල ගණන් මාර්තු මාසයෙන් පසු වාර්තා වූ අවම මට්ටම්වලට ආසන්න බව සඳහන් වේ.
වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පර්සියානු බොක්ක ප්‍රදේශයෙන් ලැබෙන ධනාත්මක සංඥා හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය පිළිබඳ විශ්වාසය ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය දින කිහිපය තුළ නෞකා ගමනාගමනය වැඩි වී ඇති අතර, මීට පෙර සිරවී සිටි දැවැන්ත තෙල් නෞකා කිහිපයක්ද සන්ධිය හරහා ගමන් කර තිබේ. මේ අතර, ඇමෙරිකාව සහ ඉරානය අතර ආරම්භක සාම සාකච්ඡාවලින් අනතුරුව වොෂිංටනය විසින් ඉරානයට දින 60ක සම්බාධක සහනයක් ලබාදීමත් සමඟ ඉරාන තෙල් නැවත වෙළෙඳපොළට පැමිණීමේ අපේක්ෂාවන් ඉහළ ගොස් ඇත.
එමෙන්ම මැද පෙරදිග ආරක්ෂක අවදානම් තරමක් පහව යාමද මිල පහළ යාමට බලපා ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන බලධාරීන් අතර න්‍යෂ්ටික සාකච්ඡා සම්බන්ධයෙන් තවදුරටත් පවතින මතභේද හේතුවෙන් වෙළෙඳපොළ තුළ යම් අවිනිශ්චිතතාවක් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.