තරුණ තරුණියන්ට සුබ ආරංචියක් - අද ඉදන් ක්‍රියාත්මකයි
වසර තුනක විරාමයකින් පසුව ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල නව මුහුණුවරකින් අද (06) යළි ආරම්භ කෙරිණි.
නව මාසික පුහුණු පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක වන මෙම නාට්‍ය පාසල සඳහා තේරී පත් වූ අභ්‍යාසලාභීන් වෙනුවෙන් නේවාසික පහසුකම් සහ ආහාර දීමනාවක් ද ලබා දෙන බව තරුණ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම පාඨමාලාව නව විෂය නිර්දේශයක් යටතේ ක්‍රියාත්මක වන අතර, නාට්‍ය ක්ෂේත්‍රයට අදාළ සියලුම අනුශාංගික අංග මෙන්ම ඉංග්‍රීසි භාෂා පුහුණුව ද මීට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
ඒ අනුව පසුගිය වසරේ දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පවත්වන ලද නාට්‍ය වැඩමුළුවලින් තෝරාගත් දක්ෂ තරුණ තරුණියන් පිරිසක් මේ සඳහා සුදුසුකම් ලබා ඇත.
මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේ, සාම්ප්‍රදායික නාට්‍ය පාසලක් වෙනුවට ශක්තිමත් 'නාට්‍ය සාමූහිකයක්' නිර්මාණය කිරීම තම අරමුණ බවයි.
තනිව ගොඩනැගෙනවා වෙනුවට සමූහයක් ලෙස නිර්මාණකරණයේ යෙදීමට අවශ්‍ය පරිසරය මෙහිදී සකස් වන අතර, එමගින් වර්තමාන සමාජය යහපත් ලෙස වෙනස් කළ හැකි දක්ෂ නිර්මාණකරුවන් පිරිසක් බිහි වනු ඇතැයි තරුණ සේවා සභාව අපේක්ෂා කරයි.