පුතාව අත්අඩංගුවට ගත්තට මාලිමා සභාපති සෙට් එකක් එක්ක පොලිසියට බැහැලා ලොකු යුද්ධයක්
ඉකුත් (27) වන දින රාත්‍රියේ ගම්පොළ නව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ දී ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභාපතිවරයා ඔහුගේ ආධාරකරුවන් බව පැවැසෙන කණ්ඩායමක් සමඟ එක්ව කලහකාරී ආකාරයට හැසිරී ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය සඳහන් කළේ සිද්ධියට මුල් වී ඇත්තේ පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් සැරයන්වරයෙකු විසින් රාත්‍රියේ දී මාර්ගයක් ආසන්නයේ හිමිකරුවකු නොමැතිව පැය ගණනාවක් නවතා තිබූ ත්‍රිරෝද රථයක් නීත්‍යනුකූල ආකාරයට අයිතිකරුවකු නොමැති දේපළක් වශයෙන් පොලිස් ස්ථානයට භාර දීම බවයි.
ඉන්පසුව එදිනම රාත්‍රියේ තරුණයන් තිදෙනෙකු පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ, “කවුද යකෝ අපේ ත්‍රිවිල් එක පොලිසියට අරගෙන ආවේ? උඹලට අයිතියක් තියෙනවද අපේ ත්‍රීවිල් එක පොලිසියට අරගෙන එන්න.” යනුවෙන් කෑකෝ ගසමින් කලහකාරී ආකාරයට හැසිර තිබෙන බව සඳහන්.
ඒ අනුව ක්‍රියාත්මක වෙමින් මෙහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් කණ්ඩායමක් එම තරුණයන් තිදෙනා පොලිස් භාරයට ගෙන ඇත.
එසේම අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා බීමතින් සිටින්නේදැයි තහවුරු කර ගැනීමට නව කුරුඳුවත්ත රජයේ රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර තිබෙන අතර, වෛද්‍යවරයා විසින් ඔවුන් තිදෙනාම බීමතින් සිටින බවට තහවුරු කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බව ද වාර්තා විය.
මේ අතර අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා අතර සභාපතිවරයාගේ පුත්‍රයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සිටින බව දැනගත් ප්‍රාදේශීය සභා සභාපතිවරයා, ඔහුගේ ආධාරකරුවන් යැයි කියන කණ්ඩායමක් සමඟ පොලිස් ස්ථානයට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේදී සභාපතිවරයා තම පුත්‍රයාට පොලිසියෙන් පහර දුන් බවට චෝදනා කරමින්, පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කලහකාරී ආකාරයට හැසිරී ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කර ඇත. අනතුරුව සභාපතිවරයාගේ පුත්‍රයා රෝහලට ඇතුළත් කර ඇත.
එසේ වුවද පොලිසිය සඳහන් කළේ සභාපතිවරයාගේ පුතාට පහර නොදුන් බවත්, සභාපතිවරයාගේ එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්ය.