ලෝක අපරාධයක් - සුපිරි තරුවකට ආබාධයක් - ලෝක කුසලාන පළමු තරගයම අහිමි වෙයි
බ්‍රසීල දේශීය ලීගයේ සන්ටෝස් කණ්ඩායම සඳහා ක්‍රීඩා කරමින් සිටියදී ආබාධයට ලක් වූ බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නෙයිමාර්ට ඉදිරි ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග මෙන්ම බ්‍රසීල කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ද අහිමි වන බව බ්‍රසීල පාපන්දු සම්මේලනය නිල වශයෙන් තහවුරු කර ඇත.
ඒ අනුව සිදු කරන ලද MRI ස්කෑන් පරීක්ෂණ මඟින් ඔහුගේ දකුණු කෙණ්ඩා ප්‍රදේශයේ දෙවන පෙළේ ආබාධයක් පවතින බව හඳුනාගෙන තිබෙන බව සඳහන්.
බ්‍රසීල කණ්ඩායමේ වෛද්‍ය රොඩ්‍රිගෝ ලස්මාර් ප්‍රකාශ කර ඇත්තේ මේ හේතුවෙන් 34 හැවිරිදි මෙම ඉදිරිපෙළ ක්‍රීඩකයාට තවත් සති දෙකත් තුනත් අතර කාලයක් තරග බිමෙන් ඉවත්ව විවේක ගැනීමට සිදුවන බවයි.
කෙසේ වුවද ඔහුව ලෝක කුසලාන සංචිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේද යන්න පිළිබඳව වෛද්‍යවරයා මෙතෙක් ස්ථිර ප්‍රකාශයක් කර නොමැත.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම රෝග විනිශ්චය සන්ටෝස් ක්‍රීඩා සමාජයේ වෛද්‍යවරුන් මුලින් ප්‍රකාශ කළ තත්ත්වයට වඩා වෙනස් වූ එකක් බවයි.
ඒ අනුව ඔවුන් පවසා තිබුණේ එය හුදෙක් සාමාන්‍ය ඉදිමීමක් පමණක් වන බවයි.
එබැවින් නේමාර් හට එළඹෙන ඉරිදා පැනමාවට එරෙහිව පැවැත්වෙන පෙරහුරු තරගය සහ ඉන් පසුව පැවැත්වෙන ඊජිප්තු තරගය මඟ හැරෙන බව සඳහන්. එසේම ජුනි 13 වැනිදා නිව් ජර්සි හිදී මොරොක්කෝවට එරෙහිව පැවැත්වෙන බ්‍රසීලයේ ලෝක කුසලාන සමාරම්භක තරඟයටද ඔහු ක්‍රීඩා කිරීමට ඇති ඉඩකඩ බෙහෙවින් අවම බව වාර්තා වේ.
එමෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියේ බ්‍රසීලය 'C' කාණ්ඩය යටතේ හයිටි සහ ස්කොට්ලන්තය සමඟ තරග වැදීමට නියමිතව ඇත.
දැඩි අවිනිශ්චිතතාවකින් පසුව කණ්ඩායම සමඟ එක් වූ නේමාර් සම්බන්ධයෙන්, ප්‍රධාන පුහුණුකරු කාර්ලෝ අන්සලොට්ටි මීට පෙර කියා තිබුණේ නේමාර්ගේ ජනප්‍රියත්වය මත නොව ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සහ දක්ෂතාවය මත පමණක් සංචිතයේ ඉඩ වෙන්වන බවයි.
කෙසේ වුවද උද්ගත වී ඇති තත්ත්වය හමුවේ බ්‍රසීල කණ්ඩායමට සිය සුපිරි තරුව නොමැතිව ඉදිරි සැලසුම් සකස් කිරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.