ළමා අපයෝජනවලට තිත තැබීමට අලුත් සැලැස්මක් – වැදගත් තීරණ රැසක් එළියට
ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීමේ අරමුණින් ස්ථාපිත කර ඇති බහුආංශික යාන්ත්‍රණයේ දෙවන රැස්වීම පසුගියදා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
එය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පෙර රැස්වීමේදී ගනු ලැබූ තීරණ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ත්‍රෛමාසික වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබූ අතර, එම ක්‍රියාමාර්ගවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි.
රැස්වීමේදී පොලිසිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු ළමා ආරක්ෂාව සම්බන්ධ ආයතනවල පවතින නිලධාරී පුරප්පාඩු පිළිබඳ විශේෂ අවධානය යොමු විය. දරුවන් සම්බන්ධ පැමිණිලි සහ නඩු කටයුතු ප්‍රමාද වීමට මෙම පුරප්පාඩු ප්‍රධාන හේතුවක් බවද හඳුනාගෙන තිබේ.
ඒ අනුව, අදාළ ආයතනවලට අවශ්‍ය බඳවා ගැනීම් කඩිනමින් සිදු කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට එකඟතාව පළ වී ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ ක්‍රියාත්මක පොලිස් ඒකකය ස්වාධීන කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, එය ද්විතීයික පදනම යටතේ අධිකාරිය වෙත අනුයුක්ත කිරීම සම්බන්ධ යෝජනාව වැඩිදුර ආයතනික සාකච්ඡා සඳහා යොමු කිරීමට තීරණය විය.
උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය ලියාපදිංචි ලේඛන ලබාදීමේ වැඩසටහන් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ උතුරු මැද සහ දකුණු පළාත්වල මෙම වැඩසටහන් සාර්ථකව අවසන් කර ඇති බවයි.
එමෙන්ම, වතු ආශ්‍රිත සහ ධීවර ප්‍රදේශවල ලියාපදිංචි ලේඛන නොමැති පවුල් සහ දරුවන් හඳුනාගෙන ජංගම සේවා මඟින් ඔවුන්ට අවශ්‍ය සහතික ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවටද නිර්දේශ කෙරිණි.
ළමුන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ළමා මහධිකරණ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
තවද, පාසල් දරුවන් අතර 1929 සහ 109 හදිසි උපකාරක සේවාවලට අමතරව, 1926 ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව පිළිබඳ දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය වැඩිදියුණු කළ යුතු බවටද තීරණය විය.
මෙම රැස්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, සෞඛ්‍ය අංශය සහ අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීහු සහ විශේෂඥයෝ රැසක් එක්ව සිටියහ.