ලොව මෙතෙක් කවුරුත් නොදුටු රෝස තොල් ඇති අමුතුම වඳුරු විශේෂයක් කොංගෝ වනාන්තරවලින් සොයාගැනෙයි

Report

රෝස පැහැති සහ තැඹිලි පැහැති තොල් සහ කළු පැහැති මුහුණක් සහිත අසාමාන්‍ය පෙනුමක් ඇති වඳුරු විශේෂයක් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වනාන්තරවලින් විද්‍යාවට නව විශේෂයක් ලෙස තහවුරු කර තිබේ.

කළු ලොම් සහිත මෙම ප්‍රයිමේට් සත්වයා, රටේ මධ්‍යම නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ලොමාමි ජාතික වනෝද්‍යානයේ ඝන නිවර්තන වනාන්තරවල ඉහළ ගස් වියන අතර සැඟවී සිටින ආකාරයෙන් නිරීක්ෂණය කර ඡායාරූප ගත කර ඇත.

මෙම අසාමාන්‍ය සත්වයා පිළිබඳ පළමු වාර්තා ලැබී ඇත්තේ 2008 වසරේදී එම ප්‍රදේශයේ සංරක්ෂණවේදීන් විසින් එය දැකීමෙන් පසුවය. එහෙත් එම අවස්ථාවේදී ලබාගත හැකි වූයේ පැහැදිලි නොවන එක් ඡායාරූපයක් පමණි.

"හොඳින් හැසිරුනේ නැත්නම් බලාගමු" - ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමෙන් පසු ඇමරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

"හොඳින් හැසිරුනේ නැත්නම් බලාගමු" - ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමෙන් පසු ඇමරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

වසර 10කට පසුව නැවතත් මෙම වඳුරා දැකීමෙන් අනතුරුව, ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් එය සොයා අධ්‍යයනය කිරීමට කටයුතු කළ අතර, ජාන පරීක්ෂණ ඇතුළු විද්‍යාත්මක අධ්‍යයන මගින් එය මෙතෙක් හඳුනා නොගත් නව විශේෂයක් බව තහවුරු කර ඇත.

මෙය පසුගිය වසර 75 තුළ අප්‍රිකාවෙන් හඳුනාගත් පස්වන නව වඳුරු විශේෂය ලෙස සැලකේ. ෆ්ලොරිඩා අත්ලාන්තික් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂක ජූනියර් ඇම්බෝකෝ, ශබ්ද පටිගත කිරීම්, ඡායාරූප, ක්ෂේත්‍ර නිරීක්ෂණ සහ සවිස්තරාත්මක ජාන අධ්‍යයන ඇතුළත් මෙම පර්යේෂණයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය. මෙම සොයාගැනීම් විද්‍යාත්මක සඟරාවක් වන PLOS One හි ප්‍රකාශයට පත් කර තිබේ.

“ඉතා සුළු පිරිසක් පමණක් දන්නා සත්වයෙකුගේ මුහුණ දැකීම පුදුම සහගත අත්දැකීමක්” යැයි ඇම්බෝකෝ පැවසීය. විද්‍යාත්මක අර්ථයෙන් නව විශේෂයක් “සොයා ගැනීම” යනු එම සත්වයා ජානමය වශයෙන් වෙනස් ලෙස පරිණාමය වී ඇති බව නිල වශයෙන් හඳුනාගෙන වාර්තා කිරීමයි.

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් මෙම වඳුරා පිළිබඳව මීට පෙර සිටම දැන සිටි අතර එය “ලික්වේලි” යන නාමයෙන් හඳුන්වා තිබුණි. පර්යේෂකයන් පවසන්නේ මෙම වඳුරන් ඉතා ලැජ්ජාශීලී සතුන් වන අතර ගස්වල ඉහළ ප්‍රදේශවල සැඟවී සිටීමට කැමැත්තක් දක්වන බවයි. “සතුන් ජීවත් වන ප්‍රදේශ ආසන්නයේ පිහිටි ගම්මාන 52ක ජනතාව සමඟ අපි සාකච්ඡා කළා.

එම ගම්මාන අටක පමණක් මෙම වඳුරන් දැක තිබුණා,” යැයි ඇම්බෝකෝ සඳහන් කළේය. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඇමරිකාව සහ ජර්මනිය යන රටවල පර්යේෂකයන් එක්ව මෙම නව විශේෂයට Colobus congoensis යන ලතින් නාමය ලබා දී තිබේ. මෙම සත්වයා කොලොබස් වඳුරන්ගේ විශාල කාණ්ඩයට අයත් වන අතර, ෆ්ලොරිඩා අත්ලාන්තික් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේට් ඩෙට්විලර් පැවසුවේ, “මාපටැඟිලි නොමැති මෙම වඳුරන් අප්‍රිකානු වනාන්තර පරිසර පද්ධතියේ වැදගත් කොටසක්” බවයි.

ඔවුන් වනාන්තරයේ ශාක ආහාරයට ගන්නා සතුන් ලෙස බීජ පැතිරීම සහ ශාක වර්ධනය සඳහා වැදගත් කාර්යයක් ඉටු කරන බව පර්යේෂකයන් විශ්වාස කරති. මෙම වඳුරන්ගේ දීප්තිමත් මුහුණු සලකුණු අනෙකුත් සතුන් සමඟ සන්නිවේදනයට, සහකරුවන් ආකර්ෂණයට හෝ එකිනෙකා හඳුනා ගැනීමට උපකාරී විය හැකි බව මහාචාර්ය ඩෙට්විලර් පෙන්වා දෙයි.

සමාජය කතා කරන්න බයවුණු චරිතයකින් සුමති සම්මාන වේදිකාව ජයගත් චතුරංග කොඩිතුවක්කු!

සමාජය කතා කරන්න බයවුණු චරිතයකින් සුමති සම්මාන වේදිකාව ජයගත් චතුරංග කොඩිතුවක්කු!

එමෙන්ම මෙම වඳුරන්ට සුවිශේෂී “ගොරවන” හඬක් ඇති බවත්, බොහෝ විට ඔවුන්ගේ හඬ ඇසුණද සත්වයා දැකගත නොහැකි බවත් ඇම්බෝකෝ පැවසීය.

පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙම විශේෂය දුර්ලභ වන අතර, ඔවුන්ට අවශ්‍ය ආහාර සහ වාසස්ථාන ඇති සීමිත වනාන්තර ප්‍රදේශවල පමණක් ජීවත් වන බවයි.

මස් සඳහා දඩයම් කිරීම මෙම සතුන්ට ඇති ප්‍රධාන තර්ජනයක් වන අතර, නව විශේෂයක් ලෙස නිල වශයෙන් හඳුනා ගැනීමෙන් පසු එය වඩාත් ශක්තිමත් ආරක්ෂණ ක්‍රියාමාර්ග යටතට ගැනීමට හැකි වනු ඇතැයි පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති.

කෙසේ වෙතත්, මෙම නව විශේෂය පිළිබඳව තවමත් බොහෝ දේ අධ්‍යයනය කළ යුතු බව විද්‍යාඥයන් පවසති. ඔවුන්ගේ ජනගහන ප්‍රමාණය, හැසිරීම් රටා සහ වාසස්ථාන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා අනාගතයේදී පුළුල් සමීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇත.