අග්බෝ සොයා මෙහෙයුම් යළි ඇරඹේ - හමුදා සෙබළුන් 50ක් සහ ඩ්රෝන යානාත් එක්වෙයි
‘අග්බෝ’ ඇතා සොයා ශ්රී ලංකා යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව සිදුකරන විශේෂ සෝදිසි මෙහෙයුමේ දෙවන දිනය අද (19) ආරම්භ කර තිබේ. ඒ අනුව, අද පෙරවරු 7.15ට පමණ නාච්චාදූව වැව් රක්ෂිතය ආශ්රිතව මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා යුද හමුදා සෙබළුන් 50 දෙනෙකු සහභාගී වී සිටිති.
21 වන පාබළ සේනාංකයේ නිලධාරීන් සිව්දෙනෙකුගේ නායකත්වයෙන් ක්රියාත්මක වන මෙම මෙහෙයුමට මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, බ්රිගේඩියර් බස්නායක සහ මේජර් සිල්වා ඇතුළු නිලධාරීන් ද එක්ව සිටිති.
ඊයේ (18) දිනයේදී ඒරුවැව ප්රදේශයේ සිට ඒ-9 මාර්ගය හරහා ගමන් කරමින් අග්බෝ ඇතා නාච්චාදූව වැව් රක්ෂිතය දෙසට ගමන් කළ බවට ලැබුණු තොරතුරු මත අද එම ප්රදේශය ආවරණය කරමින් සෝදිසි කිරීම් සිදුකෙරේ.
මෙහෙයුම් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ශ්රී ලංකා යුද හමුදාවේ ඩ්රෝන යානයක් සහ ශ්රී ලංකා ගුවන් හමුදාවේ ඩ්රෝන යානා දෙකක් ද යොදා ගැනීමට නියමිතය.
වනජීවී නිලධාරීන් පවසන්නේ අග්බෝ ඇතා මේ වන විට මද කිපුණු තත්ත්වයක පසුවන අතර වේගයෙන් ගමන් කරමින් සිටින බවයි.
ඇතාට කිසියම් අනතුරක් සිදුවී තිබේද යන්න පිළිබඳව සමීපව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇතැයි ද වනජීවී නිලධාරීහු විශ්වාසය පළ කරති.
මේ අතර, තිරප්පනේ අඩවි වනජීවී බීට්ටු කාර්යාලයේ අඩවි සහකාර බුද්ධික අතුකෝරල මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් ද මෙහෙයුම් සඳහා මඟපෙන්වීම් ලබාදෙමින් සිටිති.