මැදපෙරදිග උණුසුම මැද නෙතන්යාහු UAE නායක හමුවක් - කලාපීය අර්බුද ගැන තීරණාත්මක සාකච්ඡා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉරිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහ්යාන් හමුවී ඇති බව දෙරටේ බලධාරීන් සඳුදා තහවුරු කර තිබේ.
මෙම සංචාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල මූලාශ්‍රයක් CNN වෙත පවසා ඇත්තේ, නායකයන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවලදී ඉරානය සම්බන්ධ කරුණු ප්‍රධාන වශයෙන් අවධානයට ලක් වූ බවයි. වත්මන් ඉරාන යුද තත්ත්වය ඇතුළුව ඉරානය සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය වී ඇති පසුබිමක මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන WAM වාර්තා කර ඇත්තේ ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් සහ බෙන්ජමින් නෙතන්යාහු අතර ඉරිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හමුවක් පැවති බවයි.
එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර සංවර්ධනය කළ හැකි ක්‍රම පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බව WAM සඳහන් කර තිබේ.
මේ අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර ඇත්තේ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සහ කලාපයේ පවතින අභියෝග මෙම සාකච්ඡාවල ප්‍රධාන අවධානය වූ බවයි.
නෙතන්යාහුගේ මෙම සංචාරයට ඔහුගේ බිරිඳ මෙන්ම ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා, මොසාඩ් ප්‍රධානියා, හමුදා ලේකම්වරයෙකු සහ දේශපාලන උපදේශකයෙකු ඇතුළු පිරිසක් එක්ව සිටි බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර ඇත.