නේපාල මාරාන්තික ගංවතුර පිටුපස ඇති සැබෑ හේතුව එළියට - ඩොලර් මිලියන 20ක ආධාර ඉල්ලීමට සැරසෙයි
පසුගිය මාසයේ නේපාලයේ සිදුවූ මාරාන්තික ගංවතුරට දේශගුණික විපර්යාස දායක වී ඇති බව පෙන්වා දෙන නව අධ්යයනයක්, ජාත්යන්තර ආධාර ඉල්ලා සිටීම සඳහා භාවිත කිරීමට නේපාලය සැලසුම් කර තිබේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් බලපෑමට ලක්වන රටවලට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්රියාත්මක පාඩු හා හානි ප්රතිචාර අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20කට ආසන්න මුදලක් ලබාගැනීම සඳහා අදාළ අධ්යයනය ඉදිරිපත් කිරීමට නේපාලය අපේක්ෂා කරන බව සඳහන් වේ.
නිල දත්තවලට අනුව, හදිසි ගංවතුර හේතුවෙන් නේපාලයේ පුද්ගලයන් 1,400කට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර තවත් 6,150කට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
World Weather Attribution පර්යේෂණ කණ්ඩායම විසින් සිදුකරන ලද මෙම අධ්යයනය බ්රහස්පතින්දා ප්රකාශයට පත් කර තිබේ. එහි දැක්වෙන්නේ නේපාල-ටිබෙට් දේශසීමා ප්රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ඇති කිරීමට හේතු වූ පාෂාණ හා ග්ලැසියර අයිස් කඩා වැටීම කෙරෙහි දේශගුණික විපර්යාස බලපා ඇති බවයි.
විද්යාඥයන් පවසන්නේ හිමාල කඳුවැටියේ නේපාල පාර්ශ්වයේ පිහිටි ලැන්ග්ටැං ලිරුන්ග් කඳු මුදුන ආසන්නයේ පාෂාණ බිත්තියක් සහ ග්ලැසියර අයිස් විශාල ප්රමාණයක් කඩා වැටීමෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි.
අධ්යයනයට අනුව, මෙම ව්යසනය එක් හේතුවකින් පමණක් සිදුවූවක් නොව, උෂ්ණත්වය ඉහළ යාම, ග්ලැසියර තුනී වීම, ස්ථිර හිම දියවීම සහ පෙර පැවති භූ විද්යාත්මක දුර්වලතා ඇතුළු කරුණු කිහිපයක එකතුවකින් ඇති වූ “සංයුක්ත සිදුවීමක්” ලෙස සැලකිය හැකිය.
නේපාල බලධාරීන් මෙම විද්යාත්මක කරුණු පාදක කරගනිමින් දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන පාඩු හා හානි සඳහා ජාත්යන්තර මූල්ය සහාය ලබාගැනීමට අපේක්ෂා කරයි.