ආරක්ෂාව අවුල්.. කාටත් බයයි.. මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ඕනිනම් සලසන්න ආණ්ඩුව ලෑස්තිලු
ආරක්ෂාව ඉල්ලා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දැනට ලැබී ඇති ආරක්ෂක තක්සේරු වාර්තා අනුව, එම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවයි.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, ඇමති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී වැඩබලන පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේය. පසුගියදා විපක්ෂ පක්ෂ නායකයින් කිහිපදෙනෙක් කථානායකවරයා හමුවූ අවස්ථාවකදී, තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව, කථානායකවරයා විසින් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමන් වෙත දැනුම් දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. වැඩබලන පොලිස්පතිවරයා පවසා ඇත්තේ, රටේ පවතින ආරක්ෂක තත්ත්වය යටතේ, මෑතකාලීන මනුෂ්‍ය ඝාතන බොහෝමයක් අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුම්වල ප්‍රතිඵල බවත්, එම අපරාධවලට ප්‍රදේශීය දේශපාලනඥයන් සම්බන්ධ බවත් හඳුනාගෙන ඇති බවයි.
විපක්ෂ පක්ෂ නායකයින් විසින් තම මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය. මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා පවසා ඇත්තේ, තම ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති නම්, ආරක්ෂාව සලසා ගැනීමට ගිනිඅවි ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, ඉහළ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පවතින රටක ආරක්ෂාව සඳහා ගිනිඅවි ලබාදීම සිදු නොකළ යුතු බවත්, බලධාරීන් විසින් ඒ ඒ පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ, ආරක්ෂක තක්සේරු වාර්තා ලැබෙන තුරු ආරක්ෂාව ඉවත් නොකර, ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ට එය ලබාදීම සුදුසු බවත්, තක්සේරු වාර්තාවල නිර්දේශයන්ට අනුව පසුව කටයුතු කළ හැකි බවත්ය.
