රටම අවදානමේ - විශේෂ නිවේදන රැසක්
බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට බෙරගල සහ හල්දුමුල්ල අතර ප්‍රදේශයෙන් පස්කන්දක් කඩා වැටීම නිසා අවහිර වී තිබුණ රථ වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇත.
ඒ අනුව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ දින (24) රාත්‍රියේ මෙසේ පස්කන්ද කඩා වැටී ඇති බවයි. එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අදාළ ප්‍රදේශය තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින බවයි.
කෙසේ වෙතත් අද දින (25) උදෑසන මෙම පස්කන්ද කඩා වැටුණු ස්ථානය මාර්ග සංවර්ධන නිලධාරීන් විසින් පරීක්ෂාවට කිරීමට නියමිතයි. එමෙන්ම නායයෑම් හේතුවෙන් මේ වන විට වසා ඇති පහළ කඩුගන්නාව මාර්ගය වර්ෂාව නොමැති විටදී පමණක් එක් මංතීරුවක් විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
එහෙත් අදාළ මාර්ගයේ වාහන ගමනාගමනයට විවෘත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව එහි වැඩබලන අධ්යක්ෂ ජනරාල් කේ.එම් බණ්ඩාර මහතා කියයි.
මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 7කට සිදුකර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි.
ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, කුරුණෑගල, නුවරඑළිය යන රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාවට අවධානම් නිවේදන නිකුත් කර තිබෙන බව එම සංවිධානය දක්වයි.
නායයෑම් අනතුරු ඇඟවීම් 2 මට්ටමේ නිවේදනයක් නිකුත් කර තිබෙන කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කොළඹ යන දිස්ත්‍රික්කවල සිටින ජනතාවට ද විමසිලිමත්ව සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි.
එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග කළු,ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් ද ඉහළ ගොස් ඇති බව දක්වයි. නිල්වලා ගඟ, තලගහගොඩ සහ පානදුගම යන ප්‍රදේශවලින් පිටාර මට්ටමට පැමිණ ඇති බව සඳහන්.
තවද දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 4 බැගින් විවෘත කර ඇති අතර එමඟින් තත්ත්පරයට ඝන අඩි 16,200 බැගින් ජලය මුදාහැරීමක් සිදුවන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එසේම දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා ප්‍රකාශ කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවයි.